රුහුණේ ඉපැරණිතම ආරාම සංකීර්ණය සඳගිරිය




කතරගම සංචාරය කිරීමේදී බොහෝ දෙනෙකුගේ ප්‍රධාන නැවතුම්පළක් ලෙස තිස්සමහාරාම විහාරය සැලකිය හැකිය. තිස්ස වැවෙන් නා ආහාර ගෙන තිස්සමහාරාම විහාරයට ගොස් කතරගම යෑම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රමවේදයයි. නමුත් තිස්සමහාරාමය අවට ශ්‍රී ලාංකිකයෙකු ලෙස නැරඹිය යුතු ස්ථාන බොහොමයක් පිහිටා තිබෙනවා. අද අපි කතාකරන්නේ එවන් ස්ථානයක් ගැන. ඒ සඳගිරියයි.

තිස්සමහාරාම ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයට අයත් සඳගිරිය මහසෑය තිස්සමහාරාම වැවට නැ‍ගෙනහිරින් සැතපුමක පමණ දුරින් පිහිටා තිබෙනවා. තිස්සමහාරාම දාගැබේ පිටුපස දොරටුවේ සිට දකුණු පසට මද දුරක් ගොස් වෙල් යාය මැදින් නැවතත් වම් පසට දිවෙන මාර්ගයෙන් සඳගිරියට ලඟාවිය හැකිය. සඳගිරිය බෝධියේ සිට තිස්සමහාරාම දාගැබ එක එල්ලේ පිහිටන දර්ශනය විඩාව නිවන මනස්කාර වූ දර්ශනයකි.
රුහුණේ %පඨමක චේතිය^ නමින්ද හැඳින්වූ සඳගිරිය සෑය සහ ඊට අදාළ අලංකාර ආරාම පද්ධතියක්ද සඳගිරිය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කර තිබුණි. ආරාමය පිහිටි භූමියේ අඩි හයක් උස අඩි 196 - 196 සමචතුරස්‍ර වේදිකාවක ස්තූපය එවකට නිර්මාණය වී තිබිණි.


රුහුණෙහි වූ ඉපැරණිතම ආරාම සංකීර්ණයක් ලෙසද සඳගිරිය සැලකෙනවා.  අතීතයේ දාගැබෙහි බඳෙහි එක් පේසා වළල්ලක් පමණක් හා දාගැබේ හර්මිකාව, යුපගල, ඡත්‍ර දණ්ඩ සහ ඡත්‍රිය යනාදී ලක්ෂණ මැනවින් නිර්මාණය වී තිබූ බවට වර්තමානයේද සාක්ෂි ඇත. දාගැබ් වහන්සේගේ සංරක්ෂණ කටයුතු මහානාග රජුගෙන් පසු දෙවරක් සිදුකර තිබේ. අතීත රජ දවස අවසන් වරට සංරක්ෂණය කරනුයේ පොළොන්නරු රාජධානි කාලයේදීය. ඒ  මහා විජයබාහු රජතුමා විසිනි. පසුව සිදුවූ සතුරු ආක්‍රමණ හේතුවෙන් දාගැබ් වහන්සේ විනාශ විය.

ඒන්ෂන්ට් රුහුණ
තිස්සමහාරාම දාගැබ නිර්මාණයටත් පෙර ඉදිකළ බව කියන සඳගිරිය එවකට රුහුණේ ඉදි වූ විශාලතම ආරාම පද්ධතිය ලෙස හඳුනාගෙන තිබේ. වර්ෂ 1910 දී බ්‍රිතාන්‍ය ජාතික සිවිල් නිලධාරියෙකු වන හෙන්රි පාකර් මහතා විසින් රචිත 'ඒන්ෂන්ට් රුහුණ' නමැති ග්‍රන්ථයේද සඳගිරි සෑය පිළිබඳව කරුණු දක්වා තිබේ.

ප්‍රතිසංස්කරණ කටයුතු
සඳගිරිය ස්තූපය ක්‍රි.පූ. තුන්වන සියවසේදී මහානාග රජු‍ විසින් හෝ කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලදැයි සැලකෙයි. වංශකථා සාධක අනුව පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව. 1055 - 1110) විසින් සඳගිරි විහාරය ‍හෙවත් %චන්දන විහාර^ ස්තූපය ප්‍රතිසංස්කරණය කර ඇතැයි සැලකෙනවා.
කාලනීර්ණයන් අනුව සඳගිරිය ස්තූපය අනිවාර්යයෙන්ම මහානාග රජු විසින් ඉදිකරන්නට ඇති බව පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.
මෑත කාලයේ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වර්ෂ 1987 දී ආරම්භ විය. එහිදී සංරක්ෂණ කටයුතු අවිධිමත්ව සිදුවීම නිසා ස්තූපයේ කොටසක් කඩාවැටීමට ලක්විය. එතැන් සිට එහි වැඩ කටයුතු නතර වන අතර, නැවතත් වර්ෂ 2000 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මත මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි ඉදිකිරීම් කටයුතු ක්‍රමවත්ව ඇරඹිණි. ඒ සඳහා ගඩොල් 360,869ක් යොදා ගැණුනි. සංරක්ෂණය සඳහා වැය වූ මුලු මුදල රු. මිලියන 57ක් පමණ වෙයි.

දක්ෂිණා වෘත සංඛය
ස්තූපයේ කැණීම් ඉතාමත් වැදගත් බවක් උසුලන්නේ එහිදී සර්වඥ ධාතුන් වහන්සේලා හත් නමක් සහ දක්ෂිණාවෘත සංඛයක් හමුවීමයි.
එම දක්ෂිණාවර්ථ සංඛය දේවානම්පියතිස්ස රජු, අශෝක මහා අධිරාජයාගෙන් ලද තිළිණයක් බව විශ්වාස කෙරේ. මහානාග රාජාභිෂේකයේදී අශෝක රජුගෙන් ලද්දා වූ එම සංඛය දේවානම්පියතිස්ස රජු විසින් මහනාගයන්ට පරිත්‍යාග කර තිබේ. මහානාගයන් විසින් එය, සඳගිරි ස්තූපයේ තැන්පත් කළ බවට විශ්වාස කෙරෙන බව ඓතිහාසික තිස්සමහාරාම සහ සඳගිරිය උභය රාජමහා විරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියෝ ප්‍රකාශ කරයි. රාජ කකුධ භාණ්ඩයක් ලෙස එම පෞරාණික සංඛය මංගල සම්මත වස්තුවක් ලෙස අදටත් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී දක්නට ලැබේ. ඊට අමතරව, පැරණි ගඩොල් වර්ග, ඉපැරණි කාසි, පබළු වැනි දෑ හමුවීමද මෙහිදී වැදගත් වේ.
මෙම ස්ථානයෙන් සමාධි මුද්‍රවෙන් යුක්ත අඟල් 9.05ක කුඩා ශෛලමය බුදු පිළිමයක් ලැබී තිබේ. එය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හමුවූ කුඩාම බුදු පිළිමය යැයි විශ්වාස කරයි. ප්‍රභා මණ්ඩලයක් සහිත මෙහි සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් කිරීම සඳහා සෑදූ සිදුරු දෙකක්ද දක්නට ලැබේ.

බෝධිඝරය

ක්‍රි.ව. 2 වන සියව‍සේ ශ්‍රී මහා ‍‍‍බෝධි ‍රෝපණ උත්සව‍යේ දී ලද අෂ්ටඵල බෝධීන්ගෙන් එක් ශාඛාවක් චන්දන ග්‍රාම‍යේ ‍රෝපණය කළ බව පැවසෙනවා. එම බෝධිය රෝපණය කරන්නට ඇතැයි සැලකෙන විශාල බෝධිඝරයක්ද මෑතක දී සඳගිරිය කැණීම්වලදී හඳුනාගෙන තිබේ.  ‍මෙම බෝධිඝරයට සමීපව පිළිම‍ගෙයක සාධක ද නිශ්චිතව ම හඳුනා ගැනීමට අසීරු නටඹුන් ගොඩැලි කිහිපයක සාධක ද‍ වී තිබේ. ‍මෙකී විහාරයට ආසන්න ව අටපට්ටම් ශිලා ස්ථම්භයක භාතිකාභය රජු‍ගේ පුතෙකු‍ගේ හා වසභ රජුට අයත් ‍ලේඛන වන බවත්, එම ‍ලේඛන අනුව, දුරතිසා වැ‍වේ අය බදු ද, අබගමක වැව ද, පතිගම කුඹුරු ද, විහාර පූ‍ජෝත්සවයට පූජා කළ බව සඳහන් වේ. සඳගිරියේ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් බෝධිඝරයක් පමණක් නොව චන්ථාඝරයක්, පිළිමගෙයක් සහ උපෝසථාගාරයක් මනා ලෙස මතු කරගෙන තිබේ.

පොහෝ ගෙය
ක්‍රි.පූ. 1වැනි සියවසේ අනුරාධපුරයේ රජකම් කළ භාතිකාභය රජුගේ හා වසභ රජුගේ පුත්‍රයෙකු මේ විහාරයෙහි වූ පොහෝ ගෙයට කළ ගම්බිම් පූජාවක් ගැන දාගැබ ආසන්නයේ වූ ගලක කොටා තිබූ ලිපියක සඳහන් වෙයි. සංඝයාගේ ප්‍රයෝජනයට විශාල පොහෝ ගෙයක් තිබුණු බව මින් පැහැදිලි වන අතර පොහෝ ගෙයක නටඹුන්ද දක්නට ලැබේ.

අතීත ශ්‍රී විභූතිය
සඳගිරිය ස්තූපය වසර 7,000කට අතීතයකට එහා ඉතා දියුණු ශිෂ්ඨාචාරයක් මතුවී ඇති බව මෙහි කැණීම් සිදුකිරීමෙන් පෙනී යයි. ඉතාමත් වටිනා සංවර්ධිත යුගයක නෂ්ඨාවශේෂ හමුවීමත්, යකඩ සෑදූ යපස්, යබොර, සහ මැටි කර්මාන්තය උච්චතම අංගයන්ගෙන් හෙබි මැටි තාල වර්ග, උළුකැට සහ ගඩොල් රාශියක්ද හමුවීමෙන් එකල පැවැති අතීත ශ්‍රී විභූතිය පිළිබඳව කරුණු අවබෝධ කරගැනීමට හැකිය.
සඳගිරිය ස්ථූපය ප්‍රතිසංස්කරණයේදී ගඩොල් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් යොදාගත් අතර, එම සුවිශේෂී ගඩොල් නිර්මාණයේදී පාංශු පරීක්ෂා කරදීමෙන් පසුව වැව්වලින් ලබාගත් පස් යොදවා දිග අඟල් 18 ක් සහ පළල 12 තරමේ විශාල ගඩොල් නිර්මාණය කිරීමෙන් දාගැබ ගොඩනගා ඇතිබව හෙළිවෙයි.
මීටර 109 ක විෂ්කම්භයකින් යුතු මීටර් 17. 95 ක් උසින් යුතු සඳගිරි දාගැබ මෑතකාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සංරක්ෂණය කළ සුවිශේෂී ස්තූපයක් ලෙස හඳුන්වයි.



















වැඩිදුර ඡායාරූප හා විස්තර සඳහා.... www.ehipassiko.lk වෙත පිවිසෙන්න

Post a Comment

0 Comments