ප්‍රතාපවත් රාජධානි තුනකදී රාජ්‍ය අනුග්‍රහය ලැබූ වාරණ රජ මහා විහාරය


ප්‍රතාපවත් රාජධානි තුනකදී රාජ්‍ය අනුග්‍රහය ලැබූ වාරණ රජ මහා විහාරය



බුදු සමය මෙරට තහවුරු වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන් අනතුරුවය. මහින්දාගමනයෙන් පසු ලංකාවේ සිටි බොහෝ ප්‍රභූ පිරිස් බොහෝමයක් පැවිදි දිවියට ඇතුලත් වී මුළු රාජ්‍ය පුරා බුදු දහම පැතිරවීමට කටයුතු කර ඇත. එහිදී භික්ෂූන් වහන්සේලාගේ සංඝාවාස තනවා ඇත්තේ ජනාවාස පිහිටා තිබුණු ස්ථානයන්ට අනුවය. එසේ තැනූ ලෙන් විහාර අතරට %වාරණ රජමහා විහාරය^ ද අයත් වේ. වාරණ විහාරයේ අතීතය මහින්දාගමනය සිදු වූ කාලවකවානුව දක්වා ඈතට විහිදී යයි. අනුරාධපුර යුගයේ දී පටන් මහනුවර යුගය දක්වා වූ කාලය තුළදී වාරණ ලෙන් විහාරයට විවිධ රාජ්‍ය අනුග්‍රහයන් ලැබී තිබේ.

කොළඹ නුවර පාරේ තිහාරියේ සිට කිලෝමීටර් කිහිපයකින් වාරණ රජමහා විහාරයට පැමිණිය හැක. වෙල් යායක් මැද ගල් කුළුණුවලින් වටවී පිහිටි මේ අලංකාර ලෙන් විහාරයේ සියළු ස්ථාන ලෙන් තුළ නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. වාරණ රජමහා විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා ඈතට දිව යන බව අප ඉහතින් පැවසීය.

ඉතිහාසය
අනුරාධපුර පාලන සමයේ මෙම ප්‍රදේශය භාරව සිටියේ සුමිත්ත නම් අමාත්‍යවරයෙකි. මෙම අමාත්‍යවරයා විසින් මෙම ගල්ලෙන් තුල කටාරම් කොටා සංඝාවාසයට සුදුසු පරිදි ලෙන් ආරාමය නිර්මාණය කර සංඝයා වහන්සේලාට පූජා කර ඇති බව කියැවේ. වාරණ ලෙන් විහාරයේ ආරම්භය සිදු වී තිබෙන්නේ ඒ අයුරිනි.
ඉන් අනතුරුව වළගම්බා රාජ්‍ය සමයේදී මෙම විහාරයට විශේෂ රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණු බව සඳහන් වේ. වළගම්බා රජු ගල්ලෙන් තුල වසර ගණනාවක් සැඟව සිට නැවත රාජ්‍ය බලය අල්ලා ගත් පසු කළගුණ සැලකීමක් ලෙස ලෙන් විහාර රැසකට රාජ්‍ය අනුග්‍රහය ලබා දී තිබේ. මෙම ලෙන් විහාර ආශ්‍රිතව ද එතුමා සැඟවී සිට ඇති බව පැවසේ.

වළගම්බා රජුගෙන් පසුව වාරණ විහාරය පිළිබඳ නැවත කියැවෙන්නේ පොළොන්නරු යුගයේදීය. ඒ නිශ්ශංකමල්ල රාජ්‍ය සමයේදීය. නිශ්ශංකමල්ල රජු මෙම ලෙන් විහාරයේ විශේෂ පූජාවක් සිදු කර ඇති බව මෙහි ඉතිහාසය පිරික්සීමේදී හමුවේ. ඉන් පසුව මෙම විහාරය පිළිබඳ කතා කෙරෙන්නේ කෝට්ටේ යුගයේදීයි. කෝට්ටේ යුගයේ හයවන පරාක්‍රමබාහු රජු විසින් මෙම විහාරයේ ධර්මශාලාවක් ඉදිකර පූජා කර ඇති බව කියැවේ.  

මහනුවර යුගයේදී ලංකාවේ වෙහෙර විහාර පාලුව සිදුවිය. සීතාවක රජු බුදු දහම අත්හැර ශිව භක්තිකයෙක් වීම නිසා වෙහෙර විහාරයන්ට එතෙක් ලැබුණු රාජ්‍ය අනුග්‍රහය අහෝසි වී විහාරවාසී ස්වාමීන් වහන්සේලාට විවිධ තාඩන පීඩනයන් එල්ල විය. මේ නිසා භික්ෂූන් වහන්සේලා තම ජීවිත බේරා ගැනීමට ලෙන් අත්හැර පලා ගොස් තිබේ. ජනශූන්‍ය වීමත් සමඟ මෙම විහාර භූමිය කාලයත් සමග විනාශ මුඛයට පත්වූ අතර පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය සමයේදී මෙම විහාරය නැවත ප්‍රතිසංස්කරණය කර භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය සඳහා පරිත්‍යාග කර ඇති බව මෙහි ඉතිහාසයේ සඳහන් වේ. තවද මෙම විහාරයේ තුළින් සෙල්ලිපියක් හමු වී තිබේ. එම සෙල්ලිපිය අනුරාධපුර මුල් යුගයට අයත් සෙල්ලිපියක් වන අතර එහි සඳහන් වන්නේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ විධානයකි.

වා අරණ
මෙම %වාරණ^ යන නම සෑදී තිබෙන ආකාරය පිළිබඳව ගැමියන් තුළ විශ්වාසයන් දෙකක් පවතීයි. මෙම භූමියේ පිහිටි ගල් පර්වතය ඈතට දිස්වන්නේ ඇතෙක් නිදා සිටින විලාසයකි. එම හේතුව නිසා වාරණ නම පටබැඳුණු බවට සමහර ගැමියෝ විශ්වාස කරති. තවද මේ ප්‍රදේශය පුරා “වා” නම් වෘක්ෂ වර්ගයක් බහුල වශයෙන් තිබුණු බවත් එම නිසා “වා + අරණ” වාරණ වූ බවට තවත් ගැමි පිරිසක් විශ්වාසය කරයි. මෙම වා නම් වෘක්ෂය දැනටත් මෙම විහාරයේ සුරක්ෂිතව පවතියී. බොහෝ දුර්ලභ ගණයේ වෘක්ෂයන් සුරක්ෂිත කරමින් වාරණ විහාරය මගින් වෘක්ෂ අභය භූමියක් ද පවත්වා ගෙන යන අතර ඒ සඳහා විහාරයේ ඉහළ මළුවේ කොටසක් යොදාගෙන ඇත.




 










මෙවැනි ඓතිහාසික හා සෞන්දර්යාත්මක පරිසරයෙන් වටිනාකම් පවතින තවත් ස්ථාන අපේ රට තුළ තව බොහෝ තිබේ. සමහරවිට ඒවා කාලායාගේ ඇවෑමෙන් ජනයා තුළින් ඈත්ව පවතීයි. ඒවා රැක ගැනීමට කටයුතු කිරීම අපේ වගකීමකි. මෙවැනි වටිනාකම් රැසක් සහිත ස්ථාන විනාශ නොකර මතු පරපුරටත් දැක බලා ගැනීමට රකින ලෙස පාඨක ඔබෙන් කාරුණිකව ඉල්ලමු.

රචනය: කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

Post a Comment

0 Comments