සැඟවුණු තොරතුරු රැසක් සහිත මුල්ගිරිගල රාජමහා විහාරය

සැඟවුණු තොරතුරු රැසක් සහිත
මුල්ගිරිගල රාජමහා විහාරය 



කතරගම, හම්බන්තොට චාරිකා කරන කෙනෙකුනම් ඔබ බොහෝ විට ‍නැරඹීම සඳහා තෝරාගන්නේ වෙහෙරහේන, වැවුරුකන්නල, කලමැටිය, හුම්මානය, උස්සන්ගොඩ, හම්බන්තොට උද්භිත උද්‍යාන වැනි ස්ථාන කිව්වොත් නිවැරදියි. නමුත් අපේ ‍පෞඪ ඉතිහාසයක කොටස්කරුවන් නම් අනිවාරයෙන්ම නැරඹිය යුතු තැනක් තමයි මුල්ගිරිගල කියන්නේ. 

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ, වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, බටහිර මුල්ගිරිගල ග්‍රාම නිළධාරී වසමෙහි ඓතිහාසික මුල්ගිරිගල රජමහා විහාරය පිහිටා ඇත. මෙම පුදබිමට ළගා වියහැකි මාර්ග රැසක් ඇති අතර, ප්‍රධාන මාර්ගය වනුයේ බෙලිඅත්තත්, වීරකැටියත් අතර වූ මුල්ගිරිගල හන්ඳියෙන් වමට ඇති මාවතයි. නයිගල, කසාගල, කොන්දගල යන පර්වත සමූහයකින් වට වී ඇති මුල්ගිරිගල රජමහා විහාරය දර්ශනීය පිහිටීමකින් යුත් උසම පර්වතයයි. මෙහි උස අඩි 350කි. සියඹලා මළුව නමින් හඳුන්වන පාතම මළුවෙහි සිට ඉහළ චෛත්‍ය මළුව දක්වා ගල් පඩි 533ක් වෙයි. 

එම ගල් පඩි එකින් එක තරණය කරමින් මළුවෙන් මළුව පිහිටි බුද්ධ ප්‍රතිමා සහ හෙළ කලාකරුවන්ගේ දෑතින් නිම වූ නුවර යුගයට අයත් දුර්ලභ සිතුවම් සහිත විහාර මන්දිර හතත්, බෝධීන් වහන්සේලා සහ චෛත්‍ය රාජයාණන් වහන්සේලාත් දැක වැඳැපුදාගන්නා ඕනෑම සැදැහැතියකුගේ හදවතෙහි විශ්මය ජනක හැගීමක් මෙන්ම අව්‍යජ ශ්‍රද්ධාවක් ජනිත වෙයි. දර්ශනීය ස්වාභාවික පිහිටීම් ලක්ෂණ පදනම් කරගනිමින් ඇතමුන් මෙය පුංචි සීගිරිය නමින් හඳුන්වයි. 

මුල්ගිරිගල විහාරයේ ‍ඓතිහාසික වටිනාකම

මුල්ගිරිගල රජමහා විහාරයේ මූලාරම්භය කිනම් කාල වකවානුවක සිදුවූයේ දැයි නිශ්චිතව සඳහන් කළ නොහැක. මෙහි ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා විහිදී යන බව ක්‍රි. පූ. 3 වන සියවසට අයත් යැයි පුරාවිද්‍යායින් විශ්වාස කරන සෙල්ලිපි දෙකක් මෙහි පිහිටා තිබීමෙන් තහවුරු වෙයි.
අනුරාධපුර යුගයේ රජකල දේවානම්පියතිස්ස රජු දවස (ක්‍රි.පූ 250-210) මහමෙව්නා උයනෙහි පිහිටි ශ්‍රී මහා බෝධියෙන් හටගත් දෙතිස් ඵලරුක බෝධි අතුරින් එකක් රජුගේ උපදෙස් පරිදි ගිරිබාවෙහෙර නම් ස්ථානයෙහි රෝපණය කළ බව ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍රයක් වන සීහල බෝධි වංශයේ සඳහන් වෙයි. &ගිරිබා* යන්න &ගිරුවා*  යන්නට සමානකමක් පෙන්වන බැවිනුත්, කඳුරාශියක් පිහිටි පළාත යන අර්ථය දෙන &ගිරිපාද* යන්නෙන් ගිරිබා යන පදය සෑදෙන්නට ඇතැයි සැලකිය හැකිය‍. කඳු රාශිය අතරින් උසම කන්ද මුල්ගිරිගල බැවින් ගිරිබා වෙහෙර යනු මුල්ගිරිගල විහාරයම බව පැහැදිලිය.
එහි ඇති කටාරම් සහිත ලෙන් විහාර ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ අනුරාධපුර යුගයෙහි රජකළ සද්ධාතිස්ස රජු විසින් බව (ක්‍රි.පූ. 137-119) මහාවංශයෙහි සඳහන් වෙයි. එහිදී මහාවංශ කතුවරයා මුල්ගිරිගල විහාරය හඳුන්වා ඇත්තේ &දක්ඛිණගිරි වෙහෙර* නමිනි. දැනට රජමහා විහාරය නමින් හැඳින්වෙන පැරණිම විහාරය සද්ධාතිස්ස රජුගේ නිර්මාණයක් බව පිළිගැනෙයි. කලින් කළ මෙරට රජ කළ කාවන්තිස්ස (ක්‍රි.පූ. 209-164), දුටුගැමුණු (ක්‍රි.පූ. 161-137), වළගම්බා (ක්‍රි.පූ. 103-89/77) මහානාග, පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ යනාදි රජවරු එකොළොස්දෙනෙකු විසින් මෙම විහාරස්ථානයෙහි ලෙන් විහාර ඇතුලු විහාරාංග ඉදිකරමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත. 

ක්‍රි.පූ 3 වන සියවසේ දෙවනපෑතිස් රජ සමයෙහි බෝධිරෝපණයෙන් බෞද්ධ ආශ්‍රමයක් බවට පත් වූ මුල්ගිරිගල රජමහා විහාරය පූජනීය ස්ථානයක් ලෙස සංවර්ධනය කරන ලද්දේ පසුකාලීනව පැමිණි රජදරුවන් විසිනි.

බටහිර ජාතින්ගේ පාලන සමයේදී ද මෙම විහාරස්ථානයට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි. ලන්දේසි පාලන සමයෙහි (ක්‍රි.ව 1737) ජර්මන් ජාතික ජොහාන් වොල්ප් ගෑන් හෙයිඩ් විසින් චිත්‍ර 6ක් සහිතව ඉදිරිපත් කර ඇති මුල්ගිරිගල වාර්තාව ඊට කදිම නිදසුනකි. 

කෝට්ටේ යුගයේදී මුල්ගිරිගල විහාරය ප්‍රකටව පැවතියේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වශයෙනි. එකල පැවති ප්‍රධාන විද්‍යස්ථනයක් වූ &ඉරුගල්තිලක* පිරිවෙන පිහිටියේ මුල්ගිරිගල විහාරයෙහි බව කෝකිල සංදේශයෙන් හෙළිවේ. එම සංදේශයට අනුව ඉරුගල්තිලක පිරිවෙනෙහි පිරිවෙන්පති තනතුර දරන ලද්දේ මුල්ගිරිගල රාජමහා විහාරාධිපතීන් වහන්සේගේ සහෝදරයෙකු විසිනි. 

මුල්ගිරිගල විහාරය සම්බන්ධව පවතින ජනප්‍රවාද

සද්ධාතිස්ස රජු කාලයෙහි දඩයමේ ගිය වැද්දන් දෙදෙනෙක් මෙම පර්වතය දැක විහාරස්ථානයක් ඉදිකිරීමට සුදුසු ස්ථානයක් පවතින බව රජුට දැන්විය. රජු ඔවුන් දෙදෙනාද සමඟ පැමිණ පරීක්ෂා කොට බලා &මූ කිව් ගල* හොඳා යැයි කීවේය. එතැන් පටන් මෙය &මූ කිව් ගල* නමින් හැඳින් වූ අතර, පසුව මූකීගල  - මූකිරිගල - මුල්ගිරිගල - මුල්කිරිගල යනුවෙන් ව්‍යවහාරයට පැමිණ ඇත. 
මෙහි නාග විහාරය නමින් හැඳින්වෙන ලෙන් විහාරයක් රජමහා විහාර මළුවෙහි පිහිට තිබේ. ඒ හා පවතින ජනප්‍රවාදයක් මෙසේය. නාග විහාරයෙහි කුඩා දොරටු සහිත උමගින් ගමන් කිරීමෙන් හක්මන අමංගල විහාරයෙන් මතුවිය හැකි බවට විශ්වාසයක් ඇත. 

මුල්ගිරිගල සිට අමංගලට ඇති දුර සැතපුම් 20ක් පමණ වෙයි. අතීතයේ එක්තරා හිමිනමක් එළියක්ද රැගෙන මෙම උමගයට බැස ගමන්කර ඇති අතර, අද වනතුරුත් කිසිදු තොරතුරක් නොමැත. උමග සහිත දොරටුව අදත් එලෙසින්ම දැකිය හැකිය. 
රජමහා විහාර මළුවෙහි ඇති ස්වාභාවික පොකුණ සම්බන්ධයෙන් පවතින ජනප්‍රවාදය වන්නේ එම පොකුණ යට තවත් පොකුණත් ඇති අතර, එහි ජලය පානය කිරීමෙන් දරුඵල නොමැති ස්ත්‍රීන්ට දරුඵල ලැබෙන බවයි.

මෙම විහාරස්ථානයට පැමිණි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු සම්බන්ධව රසවත් ජනප්‍රවාදයක් මෙසේය.

මෙම විහාරස්ථානයෙහි වැඩ සිටි කුඩා සාමණේර හිමිනමක් තම ගුරු හිමියන්ගේ මන්ත්‍ර පොත් උන්වහන්සේට හොරෙන් පාඩම් කළහ. ඒ බව දැනගත් ගුරුහිමියන් එසේ නොකරන්නට යැයි අවවාද කළේය. නමුත් උන්වහන්සේ එය නොතකා තවදුරටත් පාඩම් කළහ. දිනක් මෙම විහාරයට පැමිණි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙක් &උඹලගේ බුදුහාමුදුරුවෝ ඔය කියන තරම් බලවත් දැයි* අවඥාසහගතව ලොකු හාමුදුරුවන්ගෙන් විමසා ඇත. එයින් ලැජ්ජාවටත් කෝපයටත් පත් ගුරුහිමියන් කුඩා සාමණේර නම අමතා &නරකත් හොඳ මේ වෙලාවට යයි* කීය.  කරුණු වටහාගත් සාමණේර හිමියන් දරුණු මන්ත්‍රයක් මතුරා කාලමක් පිම්බේය. එයින් සුදු ආණ්ඩුකාරවරයා නහයෙන් කටින් සෙම දමා බිම වැටුණි. ඔහු සමග පැමිණි අයගේ බෑගෑපත් ඉල්ලීම පරිදි පසුව සුවපත් කළේය. වරදට සමාව ඉල්ලාගත් ආණ්ඩුකාරවරයා පන්සලට අවශ්‍ය ලුණු මාස්පතා ලබා දීමට පොරොන්දු විය. මුල්ගිරිගල රජමහා විහාර යන්ත්‍ර මන්ත්‍ර වැනි ගුප්ත විද්‍යාවන් පිළිබඳව ප්‍රසිද්ධියක් ලබා තිබූ බවට මෙය කදිම නිදසුනයකි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් විහාරයට පූජාකර ඇති ඇත් දළ යුවල පිළිබඳව ජනප්‍රවාදයක් පවතියි. එම දළ යුවල දුටුගැමුණු රජුගේ සුප්‍රසිද්ධ කඩොල් ඇතාගේ බවත්, එහි ගජමුතු ඇති බවත්, මුල්ගිරිගලට නුදුරින් පිහිටා ඇති කඩවල නම් ස්ථානයෙන් ඇතා අල්ලාගත් බැවින් දළ යුවල මෙම විහාරස්ථානයට පූජා කිරීමට පියවර ගත් බවත් එහි තවදුරටත් සඳහන්ය. 

වර්තමාන දියුණුව

විවිධ හේතුන් මත ජරාවාස වී විනාශයට පත්ව පැවති මුල්ගිරිගල රජමහා විහාරස්ථානයෙහි වර්තමාන දියුණුව ආරම්භවන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව 1747-1780) රජ සමයේ දීය. අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ හා මහ රජුගේ උපදෙස් පරිදි උපසම්පදාව ලැබ මෙම මාහිමියන්ගේ හා මහ රජුගේ උපදෙස් පරිදි උපසම්පදාව ලැබ මෙම විහාරස්ථානයට වැඩම කළ වටරක්ගොඩ ධම්මපාල නාහිමියන් මෙහි මුල් විහාරාධිපතීන් වහන්සේ ලෙස සැලකේ. උන්වහන්සේ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කොට රුහුණෙහි ශ්‍රේෂ්ඨ සඟ පරපුරක් වන &මූලගිරි සඟ පරපුර* ආරම්භ කළහ.  අදටත් මුල්ගිරිගල රජමහා විහාරස්තානය මූලස්ථානය කොටගත් මූලගිරි සඟ පරපුරට අයත් විහාරස්ථාන රැසක් ලංකාවේ සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි විහිදී ඇත.

වර්තමානයේ මුල්ගිරි සඟ පරපුරට නායකත්වයක් දෙමින් මෙම විහාරස්ථානයේ ආධිපත්‍ය උසුලනු ලබන්නේ පූජ්‍ය බෙලිගල්ලේ සරණපාල නායක හිමිපාණන් වහන්සේය. උන්වහන්සේ මූලගිරි රජමහා විහාරස්ථානයෙහි 16 වැනි විහාරාධිපතීන් වහන්සේ වෙයි. දැනට මෙම විහාරස්ථානයෙහි පවතින අඩුපාඩු සොයා බලා කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනි.

වැඩසිටි විහාරාධිපතින් වහන්සේලාගේ නාම ලේඛනය

වටරක්ගොඩ ධම්මපාල ස්වාමින් වහන්සේ
ගංගොඩගම දේවරක්ඛිත ස්වාමින් වහන්සේ
බෙලිගල්ලේ ධම්මජෝති ස්වාමින් වහන්සේ
කටුවන අත්තදස්සී ස්වාමින් වහන්සේ
බැදිගම ධම්මරක්ඛිත ස්වාමින් වහන්සේ
වල්පිට මේධංකර ස්වාමින් වහන්සේ
කටුවන පියදස්සී ස්වාමින් වහන්සේ 
තලාවේ සෝභිත ස්වාමින් වහන්සේ
බැදිගම මේධංකර ස්වාමින් වහන්සේ
අතපත්තු කන්දේ සෝභිත ස්වාමින් වහන්සේ
බෙලිගල්ලේ ධර්මකීර්ති ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ
හීල්ලේ සුමන ස්වාමින් වහන්සේ
මොදරවානේ සෝමානන්ද ස්වාමින් වහන්සේ
ඕකන්දයායේ වංශිස ස්වාමින් වහන්සේ
හීන්බුන්නේ පුඤ්ඤසිරි ස්වාමින් වහන්සේ
බෙලිගල්ලේ සරණපාල ස්වාමින් වහන්සේ

ලෙන් විහාර සහ ඒවායේ විශේෂතා


අනුරාධපුර යුගයෙහි මෙන් අවශ්‍ය පරිදි කටාරම් කොටා සකස් කර ගැනීමෙන් චිත්‍ර කර්මාන්ත කරන ලද ලෙන් 7ක් මුල්ගිරිගල විහාරයෙහි දක්නට ඇත. එම ලෙන් තුළ ඇඳ ඇති සිතුවම් නුවර යුගයට අයත් දුර්ලභ ගනයේ සිතුවම් බව විද්වතුන්ගේ මතයයි.
ලෙන් විහාර, පර්වතයෙහි මුල සිට ඉහළ දක්වා තැනින් තැන පිහිටා ඇති අතර, මුදුනෙහිම පිහිටා ඇත්තේ ස්තූපයකි.

පාතමළු විහාර මන්දිර දෙක


ධර්මශාලා, සංඝාවාස, උපෝසතාගාර ආදියෙන් යුත් පර්වතය පාමුල සිට ඉහළ නගින්නේකුට මුලින්ම හමුවන්නේ පාතමළුවෙහි ලෙන් විහාර දෙකයි. මින් පළමු ලෙන් විහාරය මහානාග ලෙන් විහාරය නමින් හඳුවන අතර, මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෑතකදී පලකර ඇති ප්‍රකාශනයකට අනුව එය දෙවන පෑතිස් රජු දවස කරවන ලද්දකි. වහලය තඹ උළු සෙවිලිකර තිබූ බව සඳහන් වෙයි. විහාරයට පිවිසෙන දොරටුවලට යොදා ඇති උළුවහු ගලින් නිමවා ඇති අතර, බුද්ධ ප්‍රතිමා වහන්සේගේ දිග රියන් 18ක් පමණ වෙයි. විහාරයට පිවිසුන පසු එහි වම්පසින් ලෙන් පියස්සට අනුරූප වන පරිදි ක්‍රමයෙන් උසින් හා ප්‍රමාණයෙන් කුඩා වනසේ නිමවා ඇති පිළිම පහකි. පස බිත්තියෙහි විෂ්ණු, කතරගම, සූනියම් හා සමන් දෙවිවරුන් දැක්වෙන දේවරූප හයක් ඇත.

ප්‍රතිමාවලින් ආවාරණය නොවූ බිත්තියෙහි ඉතිරි අවකාශය තිරස් අතට තීරු තුනකට බෙදා පළමු දෙවන තීරුවල ශ්‍රාවක රූපත්, පහළ තීරුවෙහි මල් ලියකම් සහිත මෝස්තරයකුත් සිතුවම් කර තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෑතක දී සිදුකරන ලද සංරක්ෂණ කටයුතුවලදී සැතපෙන පිළිමයේ පාදය අසල දැනට පවතින සිතුවම්වලට යටිත් පැරණි සිතුවම් මතු වී ඇත. එහි වලාකුළු මත වැඩ සිටින දේව මණ්ඩලයක් වන අතර, පසුබිම සඳහා කළු වර්ණයත් හිස් අවකාශය පිරවීම සඳහා නෙළුම් මල් මෝස්තරත්, නිර්මාණය කර තිබේ. පොළොන්නරුව තිවංක පිළිමගේ දේව රූපවලට සමාන ගති ලක්ෂණ එම සිතුවම් හි දක්නට ඇත.
මෙම විහාරයෙහි ඇති සැතපෙන බුද්ධ ප්‍රතිමාව කිසියම් අන්ධ භික්ෂුවක් විසින් නිමවන ලද්දක් බවට ජනප්‍රවාදයන් පවතින අතර, පිළිමයෙහි ලක්ෂණ පිළිබඳ සැලිකීමේ දී එම ජනප්‍රවාදයෙහි කිසියම් සත්‍යතාවක් ඇතැයි මහාචාර්ය ජේ.බී දිසානායක මහතා සඳහන් කරයි.

පාත මළුවෙහි ඇති දෙවන විහාරය හඳුන්වන්නේ පදුම රහත් විහාරය නමිනි. පදුම නම් රහතන් වහන්සේ වැඩසිටි ලෙනෙහි ඉදිකළ විහාරය බැවින් මෙයට එම නම ලැබී ඇත. විහාරයෙහි ඇති කුඩා දැගැබ උන් වහන්සේගේ ධාතු නිදන් කොට තනන ලද්දකි. මෙහි ඇති සැතපෙන පිළිමයෙහි දිග අඩි 45ක් පමණ වෙයි. තේලපත්ත ජාතකය, වෙස්සන්තර ජාතකය ඉදිරිපස බිත්තියෙහි සිතුවම් කොට ඇත. මෙම ජාතක කතාවන් හි ඇති රබන් වයන, වීණා වයන, කොම්බු හා නලා පිඹින කාන්තා රූප මුල්ගිරිගලට පමණක් විශේෂ වූ දුර්ලභ සිතුවම් සේ ව්ද්වත් හු පිළිගනිති. මෙහි සමහර ස්ත්‍රී රූප සරාගික හැඟීම් ඉස්මතු කරන අයුරින් උඩුකය විවෘත්ව ඇඳ තිබීම විශේෂ ලක්ෂණයකි.
මෙම විහාරයෙහි දකුණු උලුවස්සේ ඉහළ කොටසෙහි බු.ව 2440 ද වම් උලුවස්සෙහි....ව 1886 සටහන් කොට ඇති අතර, එය විහාරය ඉදිකළ වර්ෂය නොව උලුවස්ස තැබූ වර්ෂය බව සැලකිය යුතුය. පැරණි බෝධියක් හා චෛත්‍යයක් ද මෙම මළුවෙහි දක්නට ඇත. 

මැද මළු විහාරය

මැද මළු විහාරය නමින් හඳුන්වන මෙය බෝළු විහාරය නමින් ද හඳුන්වයි. පැරණි බෝරුකින් හටගත් අංකුර බෝධියකින් හා චෛත්‍යයකින් ද මෙම මළුව සමන්විත වේ. මෙම විහාරයෙහි ඇති සැතපෙන බුද්ධ ප්‍රතිමාව දිගින් අඩි 23ක් පමණ වෙයි. පියස්සෙහි බුදුරජාණන් වහන්සේ වස් එළඹ වැඩ සිටින ස්ථාන සිතුවම් කොට ඇත.

රජමහා විහාරය

මුල්ගිරිගල විහාර හතෙන් පැරණිම සහ සම්භාව්‍ය විහාරය ලෙස සලකනුයේ රජමහා විහාරයයි. මෙම විහාරයට ඇතුළු වන බරාදයෙහි බිත්තියේ තේලපත්ත ජාතිකය සහ සිවි ජාතකය සිතුවම් කර ඇත. එක් පසෙක ඇති සියවටුක රාක්ෂ රූපය ද විශේෂිත වූවකි. තව ද මෙහි සිතුවම් තුළ ඇති බෙර වයන කාන්තාගේ රූපය දිවයිනේ වෙනත් විහාරයක දක්නට නොමැති දුර්ලභ සුන්දර රූපයකි. ඇතුලු විහාරයෙහි ඇති සැතපෙන බුද්ධ ප්‍රතිමාව දිගින් අඩි 36 ක් පමණ වෙයි. සිරස දෙසින් ඉදිරිපස හිටි පිළිම අටක් එක පෙළට අඹා තිබේ. ‍

සැතපෙන පිළිමයෙහි සිරස පැත්තෙහි බිත්තියේ සොළොස්මස්ථාන හා විෂ්ණු, කතරගම දේව රූප ඇඳ තිබේ. වහළෙහි නෙළුම් මල් හා පිච්ච මල් සහිත මල්වැල් ඇඳ තිබෙන අතර, ඇතුළත සියලුම බිත්ති සිතුවම්වලින් සරසා ඇත.

අලුත් විහාරය

රජමහා විහාරයට නැගෙනහිර දෙසින් මදක් උස් බිමක මෙම විහාරය පිහිටා ඇත. මෙහි බරාදයේ අඝෝරගේ හා සියවටුකගේ රූප සිතුවම් කොට තිබේ. විහාරය තුළ පිහිටා ඇති බුද්ධ ප්‍රතිමාව දිගින් අඩි 30ක් පමණ වෙයි. මහනුවර යුගයෙහි බුදු පිළිම නෙලීමේ සම්ප්‍රදායේ සෑම ලක්ෂණයක්ම මේ පිළිම වහන්සේගේ දක්නට ලැබෙන බව මහාචාර්ය ජේ.බී දිසානායක මහතා කියයි. විහාරයෙහි ඉදිරිපස බිත්තියෙහි සොළෙසේමස්ථාන සිතුවම් කර ඇති අතර, විෂ්ණු, කතරගම දේවරූප ද අඹා ඇත.
මෙම කල්පයෙහි බුදු වූ කකුසච, කෝනාගම, කාශ්‍යප සහ ගෞතම යන බුදුවරුන්ගේ රූප ද, මතු බුදුවන මෛත්‍රී බෝසතාණන්වහන්සේගේ රූප ද මෙම විහාරය තුළ අඹා තිබීම විශේෂිත වෙයි.

නාග විහාරය

අලුත් විහාරයටත්, නැගෙනහිර දිසාවට වන්නට කුඩාවට පිහිටි විහාරය නාග විහාරයනමින් හඳුන්වයි. මෙම විහාරය තුළ ඇතුළට විහිදී ගිය ගුහාවක් පිහිටා ඇති අතර, ඒ තුළින් නාගයින් එළියට පැමිණි බවත් ඇතැම්හු පවසති. මෙම ගුහාව ගල තුළ ඇති තවත් විහාරයකට යා හැකි මගක් බව ද තවකෙක් පවසති. හක්මන පිහිටි අමංගල විහාරයට මෙම ගුහාවෙන් යා හැකි බවට ද ජනප්‍රවාදයක් පවතී. කෙසේ වෙතත් දැනට මෙය දොරගුලු දමා වසා ඇත.

පිරිනිවන් විහාරය

රජමහා විහාර මළුවෙහි බටහිර දෙස කෙළවරට වන්නට පිහිටි විහාරය පිරිනිවන් විහාරයයි. බුද්ධ පරිනිර්වාණය මෙම විහාරය තුළ මූර්තිමත් කොට ඇත. මෙහි ඇති ඔත් පිළිමය අඩි 33 ක් පමණ වෙයි. ප්‍රතිමාව දෙපස හඬා වැළපෙන අනඳ හිමියන් ඇතුලු පෘග්ජන හික්ෂූන් ද, රජවරු සහ බිසෝවරු ද මැති ඇමතිවරු ද, දෙව්වරුන්ද අඹා ඇත.

වැසුණු විහාර ලෙන

වදුලු ශාස්ත්‍ර පොතක සඳහන් වන ආකාරයට ගලින් වැසුණු තවත් විහාරයක් මුල්ගිරිගල ඇති බව කියැවෙයි. එය රජමහා විහාර මළුවෙහි තිබෙන පොකුණු යට පිහිටා ඇති බව සඳහන් වේ.

(සැඟවුණු විහාර මළුවේ ඇති දේවල් පිළිබඳ විස්තරයක් ඇතිමුත් එම විස්තර ප්‍රසිද්ධ නොකිරීමට අප බලාපොරොත්තු වෙමි. ඔබගේ දැනගැනීම සඳහා ඒ අතරින් කිහිපයක් පමණක් ඉදිරිපත් ‍කරන්නෙමු)  

එම ගලින් වැසී ඇති ලෙනෙහි සතරවරම් දෙව්වරුන් තෙල්  වත්කරන කල්පාන්තය තෙක් නොහිමෙන පහනක්ද, චෛත්‍යයක් ද තිබෙන බව හෙලි වෙයි. මෙම ස්ථානයේ දී සාදන ලද තවත් රන් පිළිමයක් (රන් කදක් ද යන්න පැහැදිලි නැත) මුල්ගිරිගලට සැතපුම් හතරක්  පමණ දුරින් පිහිටි කොටවාය නම් ගමේ සඟවා තිබෙන බව ද කියයි. විහාරය අසල පොකුණක් ඇති අතර එයට ජලය ලැබෙන්නේ වීරකැටියෙහි ඇති &උඩුකිරිවිල* ජලාශයෙන් බවද සඳහන් වෙයි.

මෙහි සත්‍ය අසත්‍යතාව සොයාගැනීමට නම් මෙම සැඟවුණු විහාරය සොයාගත යුතුය. මෙහි සත්‍යතාවක් පවතින බව පහත කරුණු පරීක්ෂා කිරීමේදී පෙනී යයි.

මුල්ගිරිගල රජමහා විහාර මළුවෙහි පොකුණ පිහිටා තිබෙන ගල ක්‍රමවත්ව පහළට නැඹුරු වී ඇති අයුරු දැකිය හැක. එය ගල් ලෙනක පියස්සක් මෙනි. මෙම පිහිටීම එම ගල යට ලෙනක් ඇති බවට කදිම සාධකයකි. නුදුරු අතීතයෙහි කණු ආදිය සිටුවීමට රජමග විහාර මළුව සෑරීමේදී එම සිදුරුවලින් &කළු දෙබරු* පිට වූ බව ද කියති. කළු දෙබරු ස්වභාවයෙන්ම ගල් ලෙන් තුළ වද බැඳ ජීවත් වන මී මැසි වර්ගයකි. සීගිරියේ අදටත් දැකිය හැකිය. එහෙයින් මළුව සෑරීමේ දී කළු දෙබරු මතුවීම යට ලෙනක් තිබෙන බවට තවත් සාධකයකි. 

එහි ඇති අගනා වස්තු සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා දූරදර්ශී පාලකයකුගේ නියම පරිදි වසා දමන ලද බව පැහැදිලිය. මැද මළුවේ විහාර ලෙන අසලින් හෝ රජමහා විහාර මළුවේ කිසියම් තැනකින් මෙම ලෙනට යාමට මගක් තිබුනේ යැයි සිතීට අප පොළඹ වන ලකුණු තිබේ. නාග විහාර ලෙනේ තිබෙන පර්වත ගුහාව ද මෙයට යාමට තිබූ මාර්ගයක් ද යන සැකය විටෙක මතුවෙයි. කෙසේ වුවත් මෙබදු අගනා වස්තු තිබෙන මෙම ලෙන මෙතෙක් නොවසා තිබුනේ නම් අපේ සැදැහැවත් බෞද්ධයෝ කෙළිබිමක් කරගනු නියතය.

මෙම ඓතිහාසික පුදබිම ආරක්ෂා කොට අනාගතයට උරුමකර දීම අප හැමගේ වගකීම බව සිහි තබාගැනීම වටින්නේය. අනිවාර්යෙන්ම ඔබ අවබෝධයෙන් යායුතු තැනක් බවත්, මෙය රැකගැනීමත්, ආරක්ෂාකිරීමත් ඔබ සතු කාර්යයකි. මෙම සටහනේ තවත් බොහෝ සිත්ගන්නා සුළු තොරතුරු තිබුණත් මුල්ගිරිගල විහාරස්ථානයේ ආරක්ෂාව මත ඒ සියල්ලම අප පැවසීමට බලාපොරොත්තු වන්නේ නැහැ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන කියාගන්න කැමතිනම් අපට කියන්න‍. මුල්ගිරිගල පිළිබඳ ඔබ දන්නා තොරතුරු, ජනප්‍රවාද තිවෙනවනම් පහළින් Comment කරන්න.
















(තොරතුරු: මුල්ගිරිගල පුරාණය)

Post a Comment

0 Comments