බුදුදහම ථේරවාද හා මහායාන ලෙස දෙකඩ වීම


බුදුදහම ථේරවාද හා මහායාන ලෙස දෙකඩ වීම

දැනට 4,200ක් පමණ ආගම් ලෝකයේ පවතිනවා. ඒ අතරින් වැඩිමදෙනෙකු වැළඳ ගෙන ඇති ආගම් 5 අතර බුදුදහමත් පවතිනවා. බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වනවිට දෙසැටක් මතවාද ආගම් දර්ශනයන්ගෙන් පිරී පැවතුණු බව සඳහන් වෙයි. එහෙයින්, දඹදිව දෘෂ්ටි කෞතුකාගාරයක් බඳු විය. තවද මේ හැර නාම ගෝත්‍ර අප්‍රකට බොහෝ දෘෂ්ටිවාදීහු සිටි බවත් වාර්තා වෙයි. පොත පතෙහි සහන් ආකාරයට මඩවලක පිපුණු නෙලුම් මලක් සේ උන්වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය දසත පුරා විසිරෙන්න ගත්තේය.
වර්තමානයේදී ලෝකයේ ආගමක් ලෙසත් දර්ශනයක් ලෙසත් බුදුදහම සැලකෙයි. ලෝකය පුරා ව්‍යාප්තව පවතින බෞද්ධ දර්ශනය ථේරවාදය හා මහායානය ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදුණි. අද වනවිට ථේරවාදී බුදුදහ‍ම කාම්බෝජය, ලාඕසය, තායිලන්තය, ශ්‍රී ලංකාව හා බුරුමයේ ප්‍රධානම ආගම ලෙස පිළිගනු ලබයි. ඉන්දියාවේ දාලිත් බෞද්ධ සංගමය ද අනුගමනය කරන්නේ ථේරවාදි බුදුදහමයි. චීනය, ජපානය, කොරියාව, තායිලන්තය, සිංගප්පුරුව හා වියට්නාමයේ පවතින්නේ චීන බසින් ලියැවුණු ධර්ම ග්‍රන්ථ ආශ්‍රිත මහායාන බුදුදහමයි.
ථේරවාද හා මහායාන ලෙස දෙකඩ වීම
අද වගේම දඹදිව මුල් කාලයේදී බුදු දහමේ විවිධ ගැටළු නිර්මාණය කළද, විශ්ව සාධාරණ ධර්මයක් වූ බුදු දහමේ වූ නිවැරදිබව, ඒහිපස්සික වැනි ගුණ නිසා නොනැසී පැවතුණි. බුද්ධ පරිණිර්වාණයෙන් පසු විවිධ පුද්ගලයන්ගේ අකැප ක්‍රියා දෘෂ්ඨීන් නිවැරදි කර දහම ආරක්ෂා කිරීම සඳහා පළමු හා දෙවැනි සංගායනා පවත්වනු ලැබිණි. ඒ අනුව දෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව බොහෝ දෙනෙකුගේ අදහස් පිළිනොගත් වජ්ජිපුත්තක භික්ෂූ කොට්ඨාශයක් විය.
ඉතිහාසඥයන්ට අනුව එම වජ්ජිපුත්තක භික්ෂූ පිරිසකගෙන් ආරම්භ වූ මහාසාංඝික නිකාය මහායාන බුදු දහමට මගපෑදෙන්න ඇතිබව සඳහන් වෙයි. ඒ අනුව ක්‍රි.ව 1 වන සියවසේදී පමණ මහායාන බෞද්ධ දර්ශනය ව්‍යාප්ත වීමට ආරම්භවිය. මෙම කාලයේදී කණිෂ්ක රජුගේ රාජ්‍ය අනුග්‍රහය සහිතව කාශ්මීරයේ ජාලන්දරයේදී පාර්ශ්ව සහ අශ්වඝෝෂ යන භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සිව්වන ධර්ම සංගායනාව පවත්වන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ස්ථිර ලෙස මහායාන හා ථේරවාද ලෙස බෞද්ධ දර්ශනය කොටස් දෙකකට කැඩී ගියේය. මහායාන බුදු සමය ථේරවාදයෙන් වෙන් වන්නේ ඉන්දියාවේ හින්දු ආගම බලවත්ව නැගී සිටි අවධියකය.
ථේරවාද හා මහායාන ලෙස වෙන් වීමට බලපෑ හේතූන්

බුදු දහම පිළිබඳ විවෘතව විචාරය කිරීමේ අයිතිය, සමාජ, දේශපාලන හා ආර්ථික වැනි අංශවල නොයෙක් වෙනස් වීම් මීට බලපානු ඇතැයි විශ්වාස කළ හැකිය. මිනිසුන් බුදු දහම වෙනස් වූ සමාජ, දේශපාලනික හා ආර්ථික ක්ෂේත්‍රයන්ට ආරෝපණය කිරීමේදී ථේරවාදය යටපත් වී මහායානය ඉස්මතු වී ඇති බව දක්නට ලැබේ.

වෙනස් කම්
හින්දු දේව සංකල්පයේ බලපෑම් මත මහායානිකයන් බුදුන්වහන්සේ ගැලවුම්කරුවෙකු ලෙස සිතමින් බෝධිසත්ව සංකල්පය නිර්මාණය කර ඇති බව විශ්වාස කරයි. මහායානයේ මූලික සංකල්පය වූයේ  බුද්ධයන්නයි. කිසිවෙකුටත් සම කළ නොහැකි ඉන්ද්‍රජාලික බලයකින් යුක්ත පුද්ගලයෙක් මෙම බුද්ධ යන්නෙන් අර්ථ ගැන්වෙනවා. තවද, බුදුන් වහන්සේ ජාති, ජරා, ව්‍යාධි හා මරණයන්ට ලක් නොවන   සදාකාලික උතුමෙකු ලෙස මහායානික ආචාර්යවරුන් දේශනා උපයෝගී කරගෙන පෙන්වා දෙනවා. මනඃකල්පිත වූ බුදුවරයකු පිළිබඳ ඉගැන්වීමක් බවත් සඳහන් වෙනවා. නමුත් මනඃකල්පිත බුදු කෙනෙකු ථේරවාද බෞද්ධ දර්ශනය  තුළ දක්නට ලැබෙන්නේ නෑ.
බෝධිසත්වරු අසීමිත සංඛ්‍යාවකින් යුක්ත බව තවත් කරුණකි. මහායාන බුදු දහම තුළ අවලෝකිතේශ්වර, ආකාශගර්භ, වජ්‍රගර්භ, ක්‍ෂිතිගර්භ, සර්ව නිවාරණ විෂ්කම්භ, මෛත්‍රය හා සමන්තභද්‍ර වැනි  බෝසත්වරු අට දෙනෙක්‌ වන්දනාමාන කරනු ලබනවා. ථේරවාදයේ ගෞතම බුදුන්වහන්සේ හැරුණු විට බෝධිසත්වයන් වන්දනාව නොකරයි.
ථේරවාද බුදු සමයෙහි සොවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් යන මාර්ග මෙන් මහායානයෙහි සෑම බෝධිසත්වවරයෙක්‌ම බුද්ධත්වයට පත්වීමට පෙර දසභූමි අවස්‌ථාවන් පසු කළ යුතුවෙනවා.
තවද ථේරවාද බුදු දහමේදී බුද්ධත්වයට පත්වීමේදී දස පාරමිතාව සම්පුර්ණ කළ යුතු අතර, එය මහායානයේදී සම්පූර්ණ කළ යුතු පාරමිතා ගණන හයකි.
ථේරවාදයේ මූලික වී ඇත්තේ මහාවස්තු අපදාන නම් ග්‍රන්ථය මතයි. එයට අනුව බුද්ධ සංකල්පය, බෝධි සත්ව සංකල්පය, පාරමිතා සංකල්පය, දශභූමි සංකල්පය, ත්‍රිකාය සංකල්පය, බුද්ධ ක්‍ෂේත්‍ර සංකල්පය, හා ථෙරවාද අර්හත් සංකල්පය පහත් කොට සැලකීම යන මහායාන ඉගැන්වීම් රාශියක් දැක ගත හැකි ය. සූත්‍ර, විනය හා අභිධර්මය යන ත්‍රිපිටක මත පදනම් වූ ථේරවාදයේ මූලික ඉගැන්වීම් වන්නේ චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය හා භාවනායි.
බ්‍රාහ්මණ වංශිකයන් පැවිදි වූ පසුත් ඔවුන් විසින් පාරම්පරිකව පිළිගත් බ්‍රාහ්මණ චාරිත්‍ර එලෙසම ඉටුකිරීම මඟින් ඒ දේවල්ද මහායාන බුදු දහමට එකතු වී තිබෙනවා. එම නිසා වැඩි දෙනෙකු මහායානය වැළඳ ගෙන තිබේ. ඒ අතර ඝෝෂ, නාගර්ජුන, අසංග හා වසුබන්ධු වැනි මහායාන ආචාර්යවරුන් මෙලෙස එක් වූ බ්‍රාහ්මණ වංශිකයින් ලෙස හැඳින්වෙයි.
මහාවංශයේ සදහන් කළ පරිදි එකල මහාවිහාරික හා අභයගිරි පාර්ශවයන් ලෙස ථේරවාදී මෙන්ම මහායාන භික්ෂුන් වහන්සේලාද ශ්‍රී ලංකාවේ වාසය කර තිබේ. ථේරවාදී හා මහායාන භික්‌ෂූන් වහන්සේලා යම් යම් අවස්‌ථාවල එකම ආරාමයේ වැඩ වාසය කළ බවත්, විශේෂ විනය නීතින් කිහිපයක් හැර මහායාන භික්‌ෂූන් වහන්සේලාද ථේරවාද භික්‌ෂූන්වහන්සේලාගේ විනය නීති පිළිපදින්නට ඇති බවත් ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසයේ ඇතැම් අවස්ථාවල සදහන් වෙනවා.
 
බුදු දහමේ ව්‍යාප්ත වීම
 මහායාන බුදු දහම හා ථේරවාදී බුදු දහම ගැන ඉදිරියේදී කතා කරමු.

Post a Comment

0 Comments