ශ්‍රී ලංකාවේ විශාලම හිඳි පිළිමය වැජඹෙන වැවුරුකන්නල පුද බිම


ශ්‍රී ලංකාවේ විශාලම හිඳි පිළිමය වැජඹෙන

වැවුරුකන්නල පුද බිම



දකුණු පළාතේ සංචාරය කරන්නෙකු නම් අනිවාරයයෙන්ම යා යුතු තැනක් තමයි වැවුරුකන්නල. තුරුපත් අතරින් ඈතට තේජමානව වැජඹෙන ශ්‍රී ලංකාවේ විශාලම හිඳි පිළිම වහන්සේගේ පහස ලත් වැවුරුකන්නල බුදු පිළිමය අදටත් ජීවමාන සංඥාවෙන් වැඩසිටියි. දෙස් විදෙස් සංචාරකයන්ගේ මෙන්ම බොදු බැතිමතුන්ගේ ඉමහත් ආකර්ෂණයට ලක්වූ වැවුරුකන්නල ඓතිහාසික පුදබිමේ සිට %ඒහිපස්සිකෝ^ වෙතින් ඔබ වෙත බුදුරජාණන් වහන්සේට පූජා වූ මේ පරම පිවිතුරු බුද්ධ භූමියේ වටිනාකම පසත් කරලීමට මුල්ම පියවර අපි තබනවා.

කොළඹ සිට කතරගම දක්වා දිවෙන මාර්ගයේ, මාතර නගරය පසුකර කි.මී 15 දුර ගෙවා යන විට දික්වැල්ල නගරය හමුවේ. දික්වැල්ල නගරයේ සිට බෙලිඅත්ත මාර්ගයේ කි.මී 02 දුරක් ගියවිට වැවුරුකන්නල පූජා ඓතිහාසික පූජා භූමිය මුණ ගැසෙයි.

ඓතිහාසික වැදගත්කම
මීට වසර 250කට පෙර රජකම් කළ රාජාධිරාජසිංහ රජුගේ පාලන කාලයේ මෙම විහාරය ආරම්භවූ බව පැවසේ. මෙම විහාරයට නම ලැබී ඇත්තේ වැව - ඉවුරු - කොන් - හල යන සිව් වදන් එක්වීමෙනි. පුරාණයේ මෙම විහාරය හඳුන්වනු ලැබුවේ, සුදස්සනානන්ද විහාරය ලෙසිනි. එකල මෙහි වැඩ සිටි සීලානන්ද නායක ස්වාමින්වහන්සේ තම නාමයෙන් කොටසක්වූ ආනන්ද යන කොටසත් තම මෑණියන් වූ මඩකුඹුර වාසල දේවිය විසූ සුදස්සන වලව්වේ සුදස්සන යන කොටසත් එකතු කර සුදස්සනාන්ද විහාරය ලෙස නම් තැබූ බව පැවසේ.


වෙහෙර සංයුතිය
බුදු රජ මහා වෙහෙර බුදු ගෙවල් තුනකින් සමන්විතය. ඒ අතරින් පැරැණිතම බුදු ගෙය ඉදිකර ඇත්තේ 1870 දීය. විශාල මකර තොරණකින් ඇතුළු විය යුතු ඉපැරැණි බුදුගෙය තුළ ජාතක කථා හා බුද්ධ වරිතයේ විවිධ අවස්ථාද ඇඹීමෙන් හා සිතුවමින් අලංකෘත කර ඇත. බුදුන් වහන්සේගේ හා ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතුන් වහන්සෙලා හතළිස් නමක් වැඩ සිටින දාගැබ් වහන්සේ සහිත මෙම පුදබිම තුළ ඉපැරැණි දේවාලයක් සහ සීමාමාලකයක් ඇත. කුඩා කෞතුකාගාරයක් ලෙස වර්තමානයේ පවත්වාගෙන යනු ලබන ඉපැරැණි ආවාසගෙය තුළ 1926දී නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසුව අදටත් නිවැරැදිව වෙලාව දක්වයි.

අධ්‍යාපනික මෙහෙවර
නව මයුර සංදේශයත්, රාජපක්ෂ චරිතයත්, දීඝ කෝසල හා සම්බුලා ජාතක ඇතුළු නිබන්ධන රැසක් පළකළ ත්‍රිපිටක ධර්මධර පූජ්‍ය පණ්ඩිත වැලහිටියේ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ (1837-1901) විසින් ආරම්භ කරන ලද සුදස්සන පිරිවෙන, බුදුදහම රටට බෙදාහරින කේන්ද්‍රස්ථානයක් විය. ක්‍රි.ව 1901 සිට 1955 දක්වා වැඩ විසූ පූජ්‍ය බජපිම සිරිසද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේද, ක්‍රි.ව 1955 සිට 1982 දක්වා වැඩ විසූ රාජකීය පණ්ඩිත විමලතිස්ස නාහිමිපාණන් වහන්සේද මෙම පූජනීය විහාරස්ථානයේ දියුණුවට කරන ලද ශාසනික සේවාව අතිමහත්ය.

ධර්ම ශාස්ත්‍රීය පොත්පත 30ක් පමණ රචනා කළ 1945 සිට මෙහි වැඩ සිටින ආචාර්ය දික්වැල්ලේ තිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් විහාරස්ථානයේ දියුණුවට කරන ලද ශාසනික සේවාවද අනූපමේය වේ. මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම, සුධර්මා දහම් පාසල, කුමාර දහම් පාසල, විද්‍යාතුංග පිරිවෙන හා සිරිසද්ධාතිස්ස දහම් පාසල, දෙමහල් ධාතු මන්දිරය මෙන්ම අහස් වෙහෙර, උමං විහාරය, සීලරතන ශාලාව, සිරි සැදැහතිස්ස සිහිවටනය, විද්‍යාගාරය ඉදිකරවන ලද්දේද උන්වහන්සේ විසිනි.

පුරාණ විහාරය හා එහි ඇති සිතුවම්
මෙහි ඇති පැරණිම විහාරය පුරාණ විහාරයයි. රාජාධිරාජසිංහ රජ යුගයේ ඉදිකර ඇත. මෙහි ඇතුළත බිත්තිවල තවමත් දක්නට ඇත්තේ නවීකරණය නොකරන ලද මහනුවර යුගයේ සිතුවම්ය. වම්පස දැක්වෙන වහල ආධාරක ලීයකින් තොරය. එය මඩොල් කුරුපාව ලෙස හඳුන්වයි.

ඉපැරණි බුදුගෙය සහ එහි ඇති සිතුවම්
විශාල මකර තොරණකින් ඇතුළු විය යුතු ඇඹීමෙන් හා සිතුවමින් අලංකාර කර ඇති ඉපැරණි බුදු ගෙය තුළ ජාතක කථා හා බුද්ධ චරිතයේ විවිධ අවස්ථා දැක්වේ.

බුද්ධ ප්‍රතිමා වහන්සේ
දික්වැල්ලේ විමලතිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් මෙහි ඇති සියක් රියන් (අඩි 150) උස බුද්ධ ප්‍රතිමා වහන්සේ තුන් වසරක් තුළ නිමවා 1969 මාර්තු 02 දා සිටි මෙම පූජනීය විහාරස්ථානය වැවුරුකන්නල බුදුරජ මහා වෙහෙර ලෙස නම් කරන ලදී. ධ්‍යාන මුද්‍රවෙන් හා වීරාසන ආසන ක්‍රමයෙන් යුක්ත හිඳිපිළිමයක් වෙයි.

අහස් වෙහෙර
බුද්ධ ප්‍රතිමා වහන්සේ පිටදී ඇති මහල් 10ත් යුත් ගොඩනැගිල්ල අහස් වෙහෙර යනුවෙන් හැඳින්වේ. මෙහි ඇතුළත බිත්ති විචිත්‍ර සිතුවම්වලින් යුක්තය. මෙම ගොඩනැගිල්ලේ මුදුනට පිවිසි විට හාත්පස ගම්පියස මැනවින් දර්ශනය වේ. බුදු පිළිමයට පිටුපසින් සමාන්තරව ඉහළට ගොඩනැගිල්ල ඔස්සේ නගින නැගිය හැකිය. සම්බුදු සිරස තුල සිංහල හා පාලි භාෂාවෙන් තඹතහඩුවේ ලියන ලද ත්‍රිපිටකය දක්නට ලැබේ.

ඉපැරණි ඔරලෝසුව



වැවුරුකන්නල කෞතුකාගාරයේ දක්නට ලැබෙන දෑ අතුරින් ඔරලෝසුව විශේෂ වැදගත් තැනක් ගනී. 1926දී ඉදිකරන ලද පැරණි විශාලතම ඔරලෝසුවේ යන්ත්‍රයයි. 1927 දී  එය නිර්මාණය කිරීමෙන් පසුව මග්ගොන සිට විහාරස්ථානයට රැගෙනවිත් තිබේ. මෙය අදටත් නිවැරදිව වේලාව දක්වයි.

පුරාණ ළිඳ
සැදැහැවතුන්ගේ පහස නිවාලන ආඬියාමාන වර්ගයට අයත් පුරාණ ළිඳ පූජා භූමියේ ඉදිරිපසින් දක්නට ඇත.

මුල්ම පුවත්පත
ශ්‍රී ලංකාවේ මුල්ම පුවත්පත වන මෙය මුද්‍රණය කර ඇත්තේ මෙම විහාරස්ථානයේදීය. ඒ 1861 දීය.

විශ්‍රාම ශාලාව
දුර බැහැර සිට පැමිණෙන වන්දනාකරුවන්ට නවාතැන් සපයන විමලතිස්ස විශ්‍රාම ශාලාව.

ධාතු මන්දිරය
ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති දෙමහල් ධාතු මන්දිරය.

වෙසක් මහා ධාතු පිංකම හා පෙරහර
ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන පෙරටු කොටගෙන කෙරෙන පෙරහර අතරින් වැවුරුක්නනල වාර්ෂික වෙසක් මහා පෙරහරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. උත්සවශ්‍රීයෙන් අලංකෘත මෙම මහා පෙරහර සියවස් එකහාමරකට වැඩි කාලයක් තිස්සේ වෙසක් පුන් පොහෝ දිනවල පැවැත්වේ. මෙය ශ්‍රී ලංකාවේ ඉතා පැරණිතම ආගමික හා සංස්කෘතික අංගයකි.

උමං විහාරය
මෙම උමං විහාරය තුළ මෙලොව වැරදි කරන අයට නිරයේ ලැබෙන දඬුවම් මූර්ති මගින් නිරූපණය කර තිබේ.

පිරිත් මණ්ඩපය
මෙහි ඇති පිරිත් මණ්ඩපය මල් ලියකම්වලින් හා බණ කතා සිතුවම්වලින් අලංකාරවී ඇත. එය ඉදිකරන ලද්දේ 1839 දීය.











Post a Comment

0 Comments