ශිල්පීය දක්ෂතා එක්තැනකට කොටුකරන වෙසක් තොරණේ කතාව




වෙසක් කාලයේදී දිවයින පුරා දක්නට ලැබෙන ආමිස පූජාවක් තමයි වෙසක් තොරණ කියන්නේ. වර්තමානයේදී වෙසක් උලෙළට දිවයින පුරා තොරණ 30කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශණය කරනවා. ඒ අතර නම් දරාපු දැවැන්ත තොරණ නිර්මාණද තියෙනවා. වෙසක් පොහොයත් එළැඹීමට දින කිහිපයක් තිබෙන මේ වකවානුවේදී තොරණ පිළිබඳ හා එහි ඉතිහාසය සොයා බැලීමකි මේ.

මකර තොරණ
තොරණ ඉතිහාසය සොය යෑමේදී නවතින එක් තැනක් තමයි මකර තොරණ කියන්නේ. මකර රුව සහිත මකර තොරණ ශ්‍රී ලංකාවේ බෞද්ධ කැටයම් කලාවේ වාස්තු ශිල්පීය කලා කෞශල්‍යය විහිදා දක්වන සුවිශේෂී අංගයක් ලෙස සැළකෙනවා. නමුත් තොරණ ගැන කතාකරන විට,  
  •          මකර තොරණ,
  •          රඹ තොරණ,
  •          පෙති තොරණ,
  •          පිළි තොරණ,
  •          ද්වාර තොරණ,
  •          වාහල්කඩ තොරණ,
  •          තුම්මුලු තොරණ,
  •          ගෙත්තම් තොරණ හා
  •          දේවාල තොරණ

වැනි තොරණ කිහිපයක්ද වෙයි. ඊට අමතරව,
රන් තොරණ, රිදී තොරණ, මිණි තොරණ, මල් තොරණ, වරාමිණි තොරණ, හතරැස් තොරණ, වගුරැලි තොරණ, ගැව් තොරණ, දික් තොරණ, කතිර තොරණ, එක්ටැම් තොරණ, මුතුකුඩ තොරණ, ගජගිරි තොරණ, රාජකීය තොරණ, මහමඬුලු තොරණ ආදී තොරණ විශේෂ කිහිපයක්ද අතීතයේ මෙරට පැවතිනි.

කටු තොරණ
කටු තොරණ යනුවෙන් හැඳින්වෙන්නේ චිත්‍ර සවිකිරීමට පෙර වූතොරණයි. කටු තොරණ් සෑදීම සඳහා පුවක් ගස් තුන්සියයකට වැඩි ප්‍රමාණයක් උපයෝගී කර ගැනේ. වර්තමානයේදී යකඩ පලංචි භාවිතයෙන් තොරණ නිර්මාණය සිදුකරණු ලබයි. 






ඇගෑ
වර්තමාන තොරණට සමාන සැරසිල්ලක් අතීතයේ පැවැති බව  පැරණි පොතපතේ සඳහන් වේ. ආගමික සැරසිල්ලක්ම නොවූ එය එදා හැදින්වූයේ ඇගෑනමිනි. එහි අර්ථය වූයේ  ප්‍රභූ ජනයා පිළිගැනීම සඳහා මහමග ඉදිකෙරෙන තොරණ විශේෂයකි. මෙය අගින් උල්වන සේ සෑයක හැඩයට නිමාවුණ අතර කොත අග මැණිකකින් සරසා තිබී ඇත. එහි ඉහළ කොටස පහන්වලින් ආලෝක කර පබළු මුතුවලින් සරසා තිබූ බවත් කියැවේ. මේ නිසා අද විචිත්‍රවත් චිත්‍ර සහ විදුලි ආලෝකකරණය භාවිතා කරමින් නිමවෙන තොරණ ඇගෑයේම විකාශනයක් යැයි සිතිය හැකිය.


සිරිත් විරිත්
තෙරණක් නිර්මාණය හිතන තරම් පහසු නැහැ. ඊට ආවේණික වූ විධික්‍රම කිහිපයක් තියෙනවා. උදාහරණයක් ලෙස කප් ගස් සිටුවීම. සුභ වැඩක් ඇරැඹීමට ප‍්‍රථම කප් සිටුවීම පුරාණයේ සිට පැවතෙන සිරිතකි.

වෙසක් තොරණ
බෞද්ධයන්ගේ සංස්කෘතික අංගයක් වූ වෙසක් තොරණ ඉතිහාසය දශක කිහිපයක අතීතයකට දිවයයි. බුදුරජාණන් වහනසේට ගෞරව දැක්වීම සඳහා රජකාලයේ සිටම පෙරහර සංවිධානය කර තිබුණි. එදා පෙරහර පවත්වන්නට යෙදුණු වීදි දෙපස රෙදි සහ පැදුරු යොදාගෙන අඳින ලද චිත්‍ර ප්‍රදර්ශනය කළේය. බුදුරජාණන් වහන්සේගේ චරිතය හා සම්බන්ධව මිනිසුන්ගේ සිත් සතන් තුළ ප්‍රසාද සංවේගය ඇතිවන ආකාරයෙන් එසේ චිත්‍ර අඳින ලදී. එය රාත්‍රියෙහි දී අලංකාරව දර්ශනය වීම සඳහා පහන් පත්තු කර ඇත. ඒ ආකාරයෙන් වර්තමාන තොරණ දක්වා විකසනය වී තිබේ.

පහන් වෙනුවට විදුලි බුබුළු පසුව තොරණට එක්විය. චිත්‍රවල ගුණාත්මක භාවය වැඩි විය.  වර්තමාණයේදී විදුලි බුබුළු දැල්වුවද රාත්‍රී කාලයට දීප්තිමත්ව දැක ගැනීම සඳහා විවිධ තීන්ත වර්ග ඇතැම් තොරණ සඳහා යොදා ගනියි. නමුත් තොරණක ප්‍රධාන අරමුණ වන්නේ චිත්‍රයි. වර්තමානයේදී චිත්‍රවලට වඩා විදුළි බුබුළුවලට මුල්තැන දී තිබේ. නරඹන්නට එන්නන්ගේ කැමැත්තත් චිත්‍රවලින් කියාපාන ජාතක කතාව නොව විදුලි බුබුළු රටා දැක ගැනීමයි. 

අතීතයේදී චිත්‍ර පෙන්වීම සඳහා පහන් දැල්වුවද වර්තමානය වනවිට ඒ තත්ත්වය අනෙක් පස පෙරළී ඇත. ඒ අනුව විදුලි බුබුළු යොදාගනිමින් චිත්‍ර දර්ශනය සඳහා කරන ලද සැරසිල්ල වැඩි දියුණු අවස්ථාවක් ලෙස තොරණ හඳුන්වන්න පුළුවන්.  කෙසේ නමුත් තොරණක් යනු එකිනෙකට වෙනස් ශිල්ප කිහිපයක එක්තැන්වීමකි. චිත්‍ර ශිල්පය සහ විදුලි ඉංජිනේරු ශිල්පය ඒ අතරින් ප්‍රධාන වන අතර තොරණේ අලංකාරය රදාපවතින්නේ මේ අංග දෙකේ සංකලනයෙනි.

තොටලඟ තොරණ
ශ්‍රී ලංකාවේ තොරණ ඉතිහාසය ගැන කතාකරන විට විශේෂ ස්ථානයක් තොටලඟ තොරණට හිමිවෙයි. අතීතයේදී විදුලි රටා ඇතුලු සැම අංගයකින්ම ඉදිරියෙන්ම සිටියේ තොටළඟ තොරණය. තොරණක් නරඹනවා නම් තොටළඟ තොරණ නැරඹිය යුතුයැයි කියමනක් තිබුණි. මෙම තොරණේ ඉතිහාසය අවුරුදු දශක පහ ඉක්මවා යයි. ශ්‍රී ලංකාවේ මුල්ම තොරණ ලෙස සැලකෙන්නේද එයයි.
1955 තොටලඟ තොරණ

නිර්මාතෘ එච්.ඒ. විල්බට් පෙරේරා (විල්බට් සිංඤෝ) 

1955දී  මුලින්ම ප්‍රදර්ශනය කළ අතර, එහි නිර්මාතෘවරයා වූයේ එච්.ඒ. විල්බට් පෙරේරා (විල්බට් සිංඤෝ) මහතාය. මුල් කාලයේදී ඔහුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙය ඉදි කළේය. ඒ කියන්නේ රු.7,500ක් මේ තොරණට ඒකාලයේ වියදම් වෙලා තියෙනවා. චිත්‍රශිල්පියාට රු.2,500ක් දීලා තිබෙනවා.  මුල්ම තොරණ ප්‍රදර්ශනය වූයේ මහා භද්‍ර කල්ප ජාතකයයි. උසින් අඩි 85ක් වූ  එම තොරණ විදුලි බුබුලු 35,000කින් ආලෝකවත් කෙරුණා. එහි විදුලි ආලෝක ශිල්පියා වූයේ ආරියදාස මහත්මයයි. බොරැල්ල, නවලෝක, පිටකොටුව පමණක් නොව මෑත කාලයේ ඉදිකළ ඉතිහාසයේ දිගම තොරණ වන යුනියන් පෙදෙසේ සිරස තොරණ විදුලි ආලෝකයෙන් අලංකාර කර ඇත්තේද ආරියදාසයන්ය. 1955 සිට වාර්ෂිකව ඉදිකළ තොරණ 1971 කැරැල්ල හේතුවෙන් ප‍්‍රදර්ශනය කරන්න ආරක්ෂක හේතු මත බැරි වෙනවා. එසේ ප්‍රදර්ශනය කිරීමට නොහැකි වූ අනෙක් අවස්ථාව පසුගිය වසරයි. එම වසරත් ආරක්ෂක හේතු මත නොපවත්වනවා. නමුත් මෙම වසරෙත් කිසිඳු තොරණක් ඉදි නොවන්නේ රටේ මෙන්ම ලෝකයේ පවතින ආරක්ෂක තත්ත්වය මතයි.


වර්තමානය වනවිට තොරණ විශාල ගණනක් නිර්මාණය වෙනවා. බොරැල්ල, පෑලියගොඩ, පිටකොටුව, නවලෝක, පිළියන්දල තොරණ ඒ අතරින් විශේෂ තැනක් ගන්නවා.  















Post a Comment

0 Comments