ගඩොලින් නිර්මාණය කල ලොව උසම ස්මාරකය ජේතවනාරාමය


ගඩොලින් නිර්මාණය කල ලොව උසම ස්මාරකය
ජේතවනාරාමය



ජේතවනාරාමය මහසෙන් රජු විසින් ක්‍රි.ව 276-303දී ඉදිකරන ලද්දකි. මහසෙන් රජු ප්‍රධාන වශයෙන් මහායාන බුදු දහම වැළඳ ගත්තෙක් විය. ජේතවනාරාමය විශේෂ වන්නේ එහි ඇති මහා පරිමාණ ස්තූපය නිසාවෙනි. බුදුරඡාණන් වහන්සේගේ ඉණ බැඳි පටී ධාතුවේ කොටසක් ජේතවනාරාමයේ තැන්පත් කර ඇති බව විශ්වාසයක් ඇත.


ජේතවනාරාමය පිහිටි ප්‍රදේශය මුල් කාලීනව නන්දන වනයට අයත්ව තිබිණි. එය මිහිදු හිමියන් විසින් අඛණ්ඩව දින හතක් ධර්ම දේශනා කළ ස්ථානයකි. සංඝාරාමයකට අවශ්‍ය සියලුම ගොඩනැගිවලින් පරිපූර්ණ වූ මෙහි ඉදිකිරීම් මහසෙන් රජුගේ කාලයට අමතරව කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව 303 - 331) හා ඔහුගෙන් පසු රාජ්‍ය කල රජවරුන් විසින් ඉදිකර තිබේ.

ජේතවන ස්තූපය

ජේතවන ස්තූපය මීටර් 112 පමණ උස් වන අතර මෙම ස්මාරකය ලෝකයේ විශාලම ස්මාරක අතුරින් තෙවන ස්ථානය ද, ලොව ගඩොලින් නිර්මාණය කල උසම ස්මාරකය ද වේ. මෙහි ඇත්තේ ඊජිප්තුවේ ගීසාහි පිරමීඩවලට වඩා අඟල් 4ක වෙනසකි.

දළ වශයෙන් මෙම දාගැබ ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇතැයි විශ්වාස කරයි. මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. බෞද්ධ භික්ෂූන් 3000කට වඩා වැඩ සිටීමට පහසුකම් තිබු බවත් සඳහන්ය, ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුළුවීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි කර තිබේ. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.

මෑතකදි සිදුකල පුරාවිද්‍යාත්මක කැණීම් මගින් බුදුන්වහන්සේගේ දේශනාවක් සේ සැළකෙන මහායාන සූත්‍රයක් වූ ප්‍රඥාපාරමිතා සූත්‍රය ලියවුනු රනපත් ඉරු නවයක් හමු වී ඇත. ස්තූපය සතර පැත්තේ කැටයමින් යුත් වාහල්කඩ සතරක් වේ. පිහිටි පොළොවට වඩා උස් වූ මළුවක නිර්මාණය කල ස්තූපයකි. මෙම මළුව වටා වූ ඇත් පවුරක නටඹුන් පුරාවිද්‍යාත්මක කැණිම් මගින් හමු වී ඇත. මෙම භූමියේ සිදුකල කැණීම් මගින් විවිධ කාසි, චීන පිඟන් අවශේෂ ආදි විශේෂ පුරාවස්තූන් ද හමු වී ඇත. වර්තමානය වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම ස්තූපය සම්පූර්ණයෙන්ම සංරක‍ෂණය කොට තහවුරු කොට ඇත.

ප්‍රතිමාඝරය
ජේතවනාරාමයේ දැකිය හැකි සුවිසේශි වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීමක් වන්නේ එහි ප්‍රතිමාගෘහය යි. මෙය 'මණිමෙව්ලා ප්‍රාසාදය' ලෙසද හඳුන්වා ඇත. මෙහි දැකිය හැකි උළුවස්ස අඩි 27 ක් පමණ උස් වූ ගල් උළුවස්සකි. මෙම ප්‍රතිමාගෘහය අනුරාධපුරයෙන් හෝ පොළොන්නරුවෙන් සොයාගත් මෙම වර්ගයේ විශාලතම ප්‍රතිමාගෘහයයි.
ගර්භ ගෘහය තුළ දැකිය හැකි පද්මාසනය අනුව මෙහි මධ්‍යයේ එකල සුවිශාල බුදු පිළිමයක් තිඛෙන්නට ඇතැයි අනුමාන කල හැකිය. ගණන් බලා ඇති ආකාරයට එය අඩි 37 ක් පමණ උස්වන්නට ඇතැයි සැළකේ. පද්මාසනයට පහතින් යන්ත්‍රගලක අවශේෂ ද දැකිය හැකි වේ. මෙය නව වැනි සියවසේදි පළමුවැනි සේන රජු (ක්‍රි.ව 833 - 853) විසින් කරවූ බවත් ඔහු විසින් මෙහි රත්‍රන් බුද්ධ ප්‍රතිමාවක් වඩා හිඳවූ බවත් සඳහන්ය.

බෝධිඝරය
අටවෙනි සියවසට කලින් කරවන ලද ස්තුපයට දකුණු පස පරණ නගරසභා කාර්යාල ගොඩනැගිල්ලට ආසන්නව ඇති දිග හතරැස් ගල් ගරාදි වැට සහිත ගොඩනැගිල්ල ජේතවනාරාමයේ බෝධිඝරය ලෙස හදුන්වයි. දෙවැනි දත්පුල රජු විසින් අටවෙනි සියවසේදි මෙහි රන් පිළිමයක් තැන්පත් කරවු බව වාර්තා වේ. මෙහි දොරටුවේ කල්ප වාක්ෂ සහිත කුඑණු වෙයි. බෞද්ධ ගරාදි වැට නමින් ප්‍රසිද්ධ ගරාදි වැට ක්‍රමය මෙහිද අනුගමනය කර ඇත. බෝධිඝරය තිබුනේ එම ගරාදි වැට ඇතුළේය. බෝධිඝරයට යාබදව උතුරින් හිටි පිළිමයක ආසනයක් වෙයි. එහි තිබෙන ලක්ෂණ අනුව එම පිළිමය අභිෂේකය සදහා යොදා ගන්නා ලද්දක් බව පෙනේ. ඒ අනුව ජේතනවාරාමයෙහි ද බුද්ධාභිෂේකය පැවැති බව ඔප්පු වෙයි.

උපොසථාගාරය
උපොසථාගාරය, බෝධිඝරයට තරමක් දුරින් නැගෙනහිර පැත්තේ ස්තුපයට දකුණින් පිහිටයි. ගල් කණු විශාල ප්‍රමාණයක් සහිත ගොඩනැගිල්ල වූ මෙහි සැලැස්ම අභයගිරි විහාරයේ රත්නප්‍රාසාදයේ සැලැස්මට සමානය. එහෙත් ගොඩනැගිල්ලේ ප්‍රමාණය අතින් දෙවැන්න පළමු වැන්නට වඩා බෙහෙවින් කුඩාය.  

දාන ශාලාව
ජේතවන ස්තුපයට නැගෙනහිර පැත්තේ පාරට ආසන්නව පිහිටා තිබේ. ප්‍රමාණයෙන් එය අභයගිරි විහාරයේ දාන ශාලාවට වඩා කුඩාය අතර, සැලැස්මද සෑහෙන තරම් දුරට වෙනස්ය.

පංචාවාස
ජේතවනාරාමයේ භික්ෂුන්ගේ ආවාස තනා ඇත්තේ පංචාවාස සහිතවය. ස්තුපය අවට ප්‍රදේශයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ එවැනි පංචාවාස සහිත සංඝාරාමයි. මේවායේ හා පුජනිය ගොඩනැගිලිවල දොරටු අලංකාර ලෙස තනා තිබේ. විවිධ සදකඩ පහන්, කොරවක් ගල්, මුරගල් හා පියගැට ඒවායේ දක්නට ලැබේ.







ප්‍රතිසංස්කරණයට පෙර

වාහල්කඩ


පතිට්ඨපෙත්වා ජිනකාය බන්ධනං
ත‍ථෙව සම්බුද්ධ සරීරධාතුයෝ
මහාමහාසේන නරින්දකාරිතං
සුචේතියං ජේතවනං නමාමි

Post a Comment

0 Comments