බුදු දහමේ අමනුෂ්‍ය ලෝක පිළිබඳ පිළිබඳ විග්‍රහයේදී තිම්, තිමංගල, තිමිරපිංඩල, නාග ලෝක හා අසුර අපාය පිළිබඳව දේශනාවල සඳහන් වෙනවා. මෙහි සාගරය ආශ්‍රය කරගනිමින් ජීවත්වන අමනුෂ්‍ය පිරිසක් තමයි නාගයන් ලෙස හඳුන්වන්නේ. මේ නාග ලෝකය අපේ බුද්ධ සාසනයත් එක්ක ගොඩක් බැඳිලා තියෙනවා. මනුෂ්‍ය ලෝකයට වඩා ධාතූන් වහන්සේලා නාගලෝකයේ නාගයන් විසින් ආරක්ෂා කරනවා. ශ්‍රද්ධාවෙන් වැඳුම් පිඳුම් කරනවා.
උදාහරණයක් විදිහට කිව්වොත් නාගයන්ට වැඳුම් පිදුම් කරන්න නාගයන්ගේ ආරාධනාවකින් සිරිපා සටහන් දෙකක් පිහිටවූ බව සඳහන් වෙනවා. එක සිරිපා සටහනක් තියෙන්නේ දඹදිව නර්මදා නදී තීරයේ, අනෙක් සළකුණ තියෙන්නේ කැළනි ගඟේ රළෙන් මුවාවන ස්ථානයේ ගං පතුලේ සටහන් කර තියෙනවා. කැලනිය කියන්නේ නාගයන් මතුවන තොටුපොලක් ලෙස සඳහන් වෙනවා. සාගරය ආශ්‍රිතව ජීවත්වන නාගයන් ගංගා දියපහරවල් හරහා ගමන් කරනවා. එම නාගයන්ට වන්දනා මාන කිරීම සඳහා එසේ සිරිපාපතුල් පිහිටුවනු ලැබීය.
ආටානාටිය සූත්‍රයේද නාගයින් ගැන සඳහන් වෙනවා. මෙම නාගයන්ට වෙස් වලාගැනීමේ හැකියාව තියෙනවා. මනුෂ්‍යයන් වගේ, දෙවියන් වගේ සෑම ආකාරයටම. භික්ෂූන් වහන්සේලා වගේ වෙස් වලාගෙන බණ ඇසීමට පැමිණි නාගයන් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා තමයි භික්ෂූන් වහන්සේ නමක් උපසම්පදා කරනවිට උපසම්පදා සීමාවේදී උපසම්පදාව ලබාදීමට පෙර අහන ප්‍රශ්න අතර, අයං නාගෝ (ඔබ නාගයෙක්ද) ලෙස අසනු ලබයි. එයට නැත පිළිතුර ලැබුණ පසු පමණයි උපසම්පදාවක් ලැබෙන්නේ.
නාගයන් කොපමණ ශ්‍රද්ධාවන්ත වුණත්, ආස වුණත් නිවන් දකින්න පින නැහැ. ඒ නිසා තමයි නාගයන් පිනට කැමතියි. පිංකරගන්න ආස. ඒ නිසයි ධාතූන් වහන්සේලාට දැඩි ශ්‍රද්ධාවෙන් වැඳුම් පිදුම් කරන්නේ.
කිරිපිඬු පාත්‍රය
සුජාතා දේවිය කිරිපිඬු පිළිඟැන්වූ රන් තැලිය ගඟ මත තබා අධිෂ්ටානයක් කලේය. මට ඒ කාන්තයෙන් ලොවුතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නට හැකිනම් මේ පාත්‍රය උඩුගං බලා යේවා අධිෂ්ටාන කළේය. එහිදී පාත්‍රය උඩුගං බලා ගියේය. ඒ පාත්‍රය ටික දුරක් ගිය අතර නාග ලෝකයේ නාගයන් එය නාග ලෝකයට ගෙන ගොස් අදටත් වැඳුම් පිදුම් කරනවා.
දකුණු දළදා වහන්සේ
බුදු රජාණන් වහන්සේ පිරුණුවන් පෑ වේලාවේ ද්‍රෝණ බමුණා ධාතූන් වහන්සේලා තුන් නමක් සඟව ගත්තේය. එහිදී එක් දළදාවක් පාදයෙන් සඟව ගත්තා යැයි සඳහන් වෙයි. ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට පැමිණි නාගයන් එම සිදුවීම ජයසේන නා රජුට දැනුම් දුන්නා. අනතුරුව ජයසේන නාරජු පොළව ඇතුළෙන්ම ද්‍රෝණ බමුණා සඟවාගත් දකුණු දළදා වහන්සේව පොළව ඇතුළෙන්ම නාග ලෝකයට රැගෙන ගියේය. බොහෝ කාලයක් නාග ලෝකයේ වැඳුම් පිදුම් කළේය. පසුව ඍද්ධි බල සම්පන්න රහතන් වහන්සේ නමක් නාගලෝකයට ගොස් ඒ ධාතූන්වහන්සේ රැගෙන විත් සෝමාවතිය චෛත්‍යයේ තැම්පත් කළේය.
රුවන්වැලි සෑ ධාතු ද්‍රෝණය
ධාතු බෙදා දීමේදී විසිරුණු ධාතූන් වහන්සේලා ද්‍රෝණ 8කට බෙදා දීම සිදුවිය. එය රජවරු 8 දෙනෙකුට සමසේ බෙදා දුන්නේය. බුදුරජාණන් වහන්සේගේ මවු පාර්ශ්වයේ ඥාතිපිරිසට එනම් රාමගාම නගරයේ කෝලීය රජදරුවන්ටත් ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් ලැබිණි. ඔවුන් එය ගංගා නම් ගං ඉවුරේ තැම්පත්කරවමින් චෛත්‍යක් ඉදි කළේය. පසුකාලයේ එය කැඩී බිඳී ගිය අතර, ධාතූන් වහන්සේලා සහිත කරඬුව ගඟ දිගේ පහළට ගසාගෙන ගොස් මහා සාගරයට වැටිනි. ධාතූන්වහන්සේලා සහිත කරඬුව මුහුදේ නොගිලී බුද්ධ රශ්මී විහිදුවමින් සාගරයේ ගෑවී නොගෑවී වැඩ සිටියේය. නාගයන් සාදුකාරදී එම ධාතු කරඬුව හිස මත තබාගෙන මහත් ශ්‍රද්ධාවෙන් නාගලෝකයට රැගෙන ගියේය. පසුව නාගයන් විසින් ඍද්ධියෙන් ධාතු මන්දිරයක් මවා මුතු මැණික්, නාගවර්ණ මැණික් අතුරා ඒ මත ධාතූන් වහන්සේලා තැම්පත් කර පුද පූජා පැවැත්වූ බව සඳහන් වෙයි. ඒ ධාතූන් වහන්සේලා තමයි අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ මේ වනවිට තැම්පත් කර තියෙන්නේ.
දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑය නිර්මාණය කර උත්‍රසල නැකතේදී ධාතු තැම්පත් කිරීමට ධාතූන් වහන්සේලා ලබලාදෙන ලෙස මහරහතන් වහන්සේලාට දැනුම් දුන්නේය. රුවන්වැලි සෑයේ තැම්පත් කරන ධාතූන්වහන්සේලා නාගලෝකයට ගොස් රැගෙන එන්න කව්ද සුදුස්සා කියා මහරහතන් වහන්සේලා සාකච්ඡා කළේය. නාගයන්ගෙන් ධාතූන් වහන්සේලා ඉල්ලුවාට ලබා දෙන්නේ නෑ. නාගයන් අධික ශ්‍රද්ධාවෙන් ධාතූන් වහන්සේලාට පුද පූජා කරන්නේ. ධාතූන් වහන්සේලා ආරක්ෂා කරන්නේ. එහෙම නාගලෝකයෙන් ධාතූන් වහන්සේගා රැගෙන එන්න බොහොම ඍද්ධි සම්පන්න කෙනෙක් වෙන්නම ඕන. නාගයන් දමනය කරගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවට එනම් නාගලෝකයට ගොස් ධාතූන් වහන්සේලා රැගෙන එන්න පෙරුම් පුරාගෙන ආපු කෙනෙකු මේ අතර හිටියා. ඔහු ඍද්ධිබල සම්පන්න කෙනෙක්. මේ සඳහා පාරමීපුරාගෙන එන කෙනෙක්. ඒ තමයි සෝනුත්තර නම් සාමනේර හිමි නම. සෝනුත්තර රහතන්වහන්සේට මේ කර්තව්‍ය පැවරිණි.
සෝනුත්තර රහතන් වහන්සේ නාගලෝකයට වැඩමවීම
මේ රහතන් වහන්සේ අභිඥාපාදක ධ්‍යානයකට සමවැදී පොළව තුළින් නාගලෝකය වෙත ගියේය. මහරහතන් වහන්සේ මතුවුණ බව නාග රජ්ජුරුවො දැක්කා. රජ්ජුරුවෝ රහතන් වහන්සේගෙන් පැමිණි කාරණය විමසා සිටියා. ධාතූන්වහන්සේලා රැගෙන යන්න පැමිණිබව දැනගත් නාග රජ්ජුරුවෝ සහෝදර නාගයෙකුට මේ බව සැල කළේය. පසුව ඔහු විශාල ශරීරයක් මවාගෙන ධාතූකරඬුව කුසෙහි සඟවා ගත්තේය. පසුව නාග රජ්ජුරුවෝ රහතන් වහන්සේට කරඬුව තිබේනම් එය රැගෙන යන ලෙස පවසා සිටියේය. රහතන් වහන්සේ දෙවැනි වරටත් ධාතූන් වහන්සේලා ඉල්ලා සිටියේය. කරඬුව තිබෙනවනම් ගන්නා ලෙස නා රජ්ජුරුවෝ නැවත වරක් පැවසිය. රහතන් වහන්සේ තුන්වැනි වරටත් ධාතූන් වහන්සේලා ඉල්ලා සිටියේය. අපි ළඟ ධාතූන් වහන්සේලා නැහැ. තිබෙනවනම් ගෙනියන්න කියා නා රජු නැවත නැවතත් පැවසීය. අනතුරුව රහතන් වහන්සේ විසින් ධාතූන් වහන්සේ තිබෙන තැනින් ගන්නද යන්න නා රජුගෙන් විමසීය. තිබෙනවනම් ගන්න කියා නා රජු පැවසීය.
සෝනුත්තර මහරහතන් වහන්සේ විසින් නොපෙනෙන අතක් ඍද්ධියෙන් මවා ගනිමින් ධාතූන් වහන්සේ කුස තුළ සඟව සිටින නාගයාටත් නොදැනෙන්න අරගත්තේය. කරඬුව රැගෙන රහතන් වහන්සේ නාගලෝකයෙන් නික්මී මහාවිහාර භූමියට ධාතූන් වහන්සේලා සහිතව පොළව තුළින් පැමිණියේය. එය දැනගත් නාගයන් රහතන්වහන්සේ පසුපසින් විලාප දිදී පැමිණ මහාවිහාර භූමියෙන් මතු විය. බුදුගුණ කියකිය නාගයන් හැපි හැපී වැලපිණි. මෙය නාග විලාපය ලෙස හැඳින්විය. ඊට අනුකම්පාකල රහතන් වහන්සේලා නාගයන්ට වැඳුම් පිදුම් කරන ද්‍රෝණයෙන් ස්වල්පයක් නාගයන්ට ලබා දුන්නේය. අනතුරුව සතුටට පත් වූ නාගයන් එය රැගෙන නැවත නාගලෝකයට ගියේය.
ශ්‍රී මහ බෝධිය
සංඝමිත්තා තෙරණියත් ජය ශ්‍රී මහබෝධිය රැගෙන එන විට එය පැහැර ගන්නද නාගයන් උත්සහ කළේය. සංඝමිත් තෙරණිය ගුරුළු වෙස් මවාගනිමින් නාගයන් දමනය කළේය. පසුව නාගයන්ගේ ඉල්ලීම පරිදි වැඳුම් පිදුම් කිරීම සඳහා සතියක කාලයක් ශ්‍රී මහා බෝධිය නාගයන්ට ලබාදුන්නේය. නාගලෝකයට රැගෙන ගොස් පුද පූජා පවත්වා නාග රාජ්‍යය බෝධීන් වහන්සේට පූජා කළේය. නාලොව සතියක් පුදලද බෝධිය යනුවෙන් බෝධීන් වහන්සේ වඳින ගාථාවල තිබෙන්නේ මේ කරුණයි.
නාගයන්ට දෙවියන්ට මෙන් විවිධ වූ ශරීර හා විමාන මවාගත හැකි වුවත් නිදාගන්නා විට ආහාර ගන්නා විට ශරීර කෘත්‍යන් සිදුකරන විට අදාල රූපයෙන් බැහැරවිය යුතුය.
මේ කරුණු වලින් නාග ලෝකයේ නාගයන් කියන්නේ මොන තරම් ශ්‍රද්ධා සම්පන්න පිරිසක්ද, පිං කරගන්න කැමති පිරිසක්ද කියා වැටහෙයි. නාගලෝකයේදී කිසිඳු මාර්ග ඵලක් ලබා ගැනීමට ඔවුට හැකියාවක් ලැබෙන්නේ නෑ. නාගයන්ගේ අරමුණ තමයි සුගතියක ඉපදිලා පිං කරන්න. ඒ නිසයි මහත් ශ්‍රද්ධාවෙන් පුද පූජා කරන්නේ. ලේසියෙන් කාටවත් ධාතූන් වහන්සේලා නාගයන් ලබාදෙන්නේ නෑ. මිනිසුන්ට වඩා හොඳට ධාතූන් වහන්සේලාට නාගයන් ශ්‍රද්ධාවෙන් ආරක්ෂා කරනවා.
ඍද්ධි බල රහිත කෙනෙකුට නාගයන් සතු ධාතූන් වහන්සේලා ලබාගන්නවා කියන්නේ සිහිනයෙන්වත් හිතන්න බැරි කරුණක්.

0 Comments