රතන සූත්‍රය දේශනා කළ ලිච්ඡවී රාජධානිය: විශාලා මහනුවර




බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සොළොස්මහා ජනපද අතර, ප්‍රබල රාජ්‍යයක් වූ වජ්ජි රාජ්‍යයෙහි අගනුවර වූයේ විශාලා මහනුවර යි. විශාලා නුවර වර්තමාන ඉන්දියාවේ කුෂිනගර් සිට කි.මී. 171 දුරිනුත්, හාජිපූර් සිට කි.මී.37 දුරිනුත්, මුහුදු මට්ටමේ සිට උස මීටර් 52ක උසකින් පිහිටා තිබේ. බිහාර් ප්‍රාන්තයේ උතුරු දෙසට වන්නට වූ  එය අද වෛශාලීනම් කුඩා ගම්මානයකි. බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය ගතකරන ලද්දේද විශාලාවේ බේළුව නම් ගමේ ය. විශාලාවේ නටබුන් බොහොමයක් වර්තමාන වෛශාලියේ කොල්හුවා නම් ප්‍රදේශයේද දක්නට ලැබේ.

බුදුරජාණන් වහන්සේ විශාලා නුවර වැඩසිටි කාලයේදී වැඩසිටි ස්ථාන අතර කූටාගාර ශාලාව මෙන්ම වාළුකාරාමය, චාපාල චේතිය, ගෝතමක චේතිය, සාරන්දද චේතිය යන ආරාම ද, අම්බපාලී උයන, ආනන්ද ථූපයද විශේෂ තැනක් ගනියි.

ලිච්ඡවීන් හා විශාලාව

බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර බ්‍රහ්මදත්ත නම් රජ පරම්පරාව බරණැස්නුවර ඇසුරු කරගෙන රාජ්‍ය පාලනය කරගෙන ගියේය. (බ්‍රහ්මදත්ත යනු රජ පරම්පරාවකි. රජුට දාව ඉපදෙන පුත්‍රයන්ද හැඳින්වූයේ බ්‍රහ්මදත්ත යන පෙලපත් නාමයෙනි.) දිනක් බ්‍රහ්මදත්ත රජුගේ දේවියකට නියමිත කාලයට පෙර දරුවෙන් බිහිවිය. නමුත් එම දරුවා අංගසම්පූර්ණ නොවූ අතර, මස් වැදැල්ලක් බව පොත පතෙහි සඳහන් වෙයි. රජතුමා මෙය දැනගත් පසු ලැජ්ජා සිතී මෙය ගංගා නම් ගඟේ පාකර යවන ලෙස නියෝග කළේය. එය උණුසුම තිබෙන ආකාරයට භාජනයක දමා හොඳින් වසා, %බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි^ යනුවෙන් සටහනක් තැබුවේය. බොහෝ දුරක් පාවෙලා ගොස් තාපසයෙකුට හමුවිය. එහි වූ සටහන කියවීමෙන් අනතුරුව ඔහු විසින් දියුණු කළ සිතින් අනාගතය දෙස බලන්නට විය. එවිට භාජනයේ වූ උණුසුමෙන් මස්කෑල්ල දෙකට බෙදී දරුවන් දෙදෙනෙකු හටගන්නා බව වටහා ගත්තේය.

මෙය රැගෙන තාපසාරාමයට ගොස් උණුසුම ඒ අයුරින්ම ලැබෙන සේ මස්වැදැල්ල ආරක්ෂා කළේය. ටික කලකට පසු මස්වැදැල්ල දෙකට බෙදී පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකු බිහිවිය. පඨවි, අපෝ, තේජෝ, වායෝ යන සතරමහා ධාතු චිත්ත වශීප්‍රප්ත කරගත් ඍධිබල සම්පන්න මෙම තාපසයාණන් වහන්සේ තම ශරීරයේ ලේ චිත්තබලයෙන් අධිෂ්ඨාන කර කිරිබවට පත් කර මාපටගිල්ලෙන් දරුවන් දෙදෙනාට පොවා උස් මහත් කළේය. තාපසයා ටික කාලයකින් නොදුටු ගම්වැසියෝ තාපසාරාමට පැමිණ විස්තර විචාරා සිටියේය. පසුව එම ගම්වාසීන් විසින් දරුවන් දෙදෙනා රැක බලාගැනීමට ඉල්ලා ගත්තේය. දරුවන් ටික ටික ලොකු විය. මස්වැදැල්ලෙන් ඇතිවූ නිසා අනෙක් දරුවන්ට වඩා ශරීරයේ වෙනස්කම් ඇතිවිය. මෙම දරුවන් දෙදෙනාගේ සම ඉතා සියුම් විය. ශරීරයේ තුළ වූ නහර ශරීරයෙන් පෙනෙන්නට විය. එසේ සම විනිවිද පෙනෙන නිසා ගමේ මිනිසුන් නිච්ඡවී නමින් ඔවුන්ව හැඳින්විය. (ඡවි යනු සමයි) කාලයත් සමග එය ලිච්ඡවීන් යන නම පටබැඳිනි. ගම්වාසීන්ට ඇතිවූ මීළඟ ප්‍රශ්ණය නම් මොවුන්ව විවාහකර දීමයි. ගම්වාසීන්ගේ තීරණයකට අනුව මොවුන් දෙදෙනාව විවාහ කිරීමට තීන්දු විය. 

විවාහයෙන් අනතුරුව මොවුන් දෙදෙනාට 16 වතාවක් නිවුන් දරුවන් ලැබුණි. සියලු දරුවන් 32යි. ඒ අය ලොකු මහත් වූ විට ඔවුනොවුන් අතර විවාහ සිදුවීම් කර දුන්නේය. මෙම පරපුර වෙනුවෙන් ගම් වාසීන් ඔවුන්ගේ ගම් නියම්ගම්වලින් කොටසක් වෙන්කර පවුරක් බැඳ ඔවුන්ට ලබා දුන්නේය. ඔවුන්ගේ පරම්පරාව ක්‍රමයෙන් වැඩිවෙත්ම නගරයේ සීමාව ප්‍රමාණවත් නොවීය. නගරය විශාල කර ප්‍රාකාරයක් බැන්දේය. එසේ අවුරුදු ගණනක් යනවිට ඔවුන් නගරය විශාල කර කර තුන්වතාවක් ප්‍රාකාරය බඳින්න විය. එම නිසා මෙම නගරය විශාලා මහනුවර නමින් හැඳින්විය.

කුඨාගාර ශාලාව

විශාලා මහනුවරට බුදුරජාණන් වහන්සේ  වැඩම කළ බොහෝ අවස්ථාවල වැඩසිටියේ කූඨාගාර ශාලාවේය. නගරයෙන් බටහිර දිසාවට වන්නට වූ මහ වනයෙහි කූඨාගාර ශාලාව පිහිටා තිබුණි. ලිච්ඡවී කුමාරවරුන් මෙම ස්ථානයට රැස්වී විශේෂ අවස්ථාවලදී තීන්දු තීරණද ගෙන තිබේ. තවද බුදුරජාණන් වහන්සේට වැඩසිටිමට සුගන්ධ කුටියක් හා භික්ෂූන් සඳහා ආරාම රාශියක් විශාලාවේ කරවා තිබු බවත් පැවැසෙයි. විශාලාවේ කූඨාගාරය පැවැති ස්ථානය උස් මුදුන් වහළ සහිත ගොඩනැගිලි කීපයක් පැවති නිසා කුඨාගාර යන නම ලැබී ඇති බව මුලාශ්‍රවල දැක්වේ.

විශාලා මහනුවර ඇතිවූ තුන්බිය දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කරනු ලැබුවේ මෙම ස්ථානයේ සිටය. මීට අමතරව, ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රධාන පන්සියයක් කුල කාන්තාවන්ට පැවිදි වීමට අවසර ලබා දී භික්ෂුණී සංඝයාගේ ආරම්භය සිදුවූයේ ද මෙහි දී වීම තවත් ඓතිහාසික සිදුවීමකි. සච්චක බ්‍රහ්මණයන් තෙරුවන් සරන ගියේ ද මෙහිදීය. එසේම බුදුරදුන් තවත් තෙමසකින් පිරිනිවන්පාන බවට භික්ෂු සංඝයාට දැනුම් දී තිබුණේද මෙහි වැඩ සිටියදීය.



බුදුන් වහන්සේගේ පස් වන වස් කාලය ගත කළ ස්ථානයෙන් පළමුවරට බුදුන්ගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර සාදන ලද ධාතු ස්තූපයෙන් නටබුන් තවමත් නිරුත්තව පවති. අද එහි ආරක්ෂාව සඳහා වටකුරු වහල සහිත ගෘහයක් සාදවා තිබෙනු දැකගත හැකිය.

මෙම ස්ථානයට ආසන්නයේම තවත් චෛත්‍යයක නටඹුන් හා සිංහ කුලුනක් දක්නට ලැබේ. එහි ඇති චෛත්‍යයේ ආනන්ද තෙරුන්ගේ ශාරීරික ධාතු තැන්පත් කර ඇති බවට විශ්වාස කරයි.

වාළුකාරාමය

වජ්ජි පුත්තක භික්ෂූන්ගේ දස අකැප වස්තු හේතුවෙන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු දෙවැනි ධර්ම සංගායනාව සිදුවුවේ විශාලා මහනුවර වාළුකාරාමයේදීය. එසේම අශෝක ස්ථම්භයට ඊසාන දිගින් පිහිටි උස්භුමිය වාළුකාරාමය පැවති භූමිය බව ආචාර්ය පී.ඩී මුඛර්ජී මහතා පෙන්වා දෙයි.

චාපාල චේතිය

බුදුරජාණන් වහන්සේ චාපාල චේතිය ස්ථානයේදී ආයු සංස්කාරය පිළිබඳව පළමුවරට ආනන්ද තෙරුන්ට මෙසේ පැවසීය.

ආනන්ද, වේසාලිය රමණීය යි. ගෝතමක චේතිය, සත්තම්බක චේතිය, බහුපුත්තක චේතිය, සාරන්දද චේතිය, චාපාල චේතිය රමණීය යි. ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් සතර ඍද්ධිපාද බහුලව මනා කොට ප්‍රගුණ කරන ලද්දේ ය. එම නිසා තථාගතයන් වහන්සේ කැමති නම් ආයුෂ් කල්පයක් හෝ මඳක් වැඩිපුර හෝ වැඩ සිටින්නේ ය.

එහිදී මාරයා විසින් ආනන්ද තෙරුන්ගේ සිත වසාගන්නට විය. ඒ හේතුවෙන්  ආනන්ද තෙරුන්ට බුදුන්වහන්සේට අයුෂ් කල්පයක් වැඩසිටින සේ ඉල්ලා සිටිය නොහැකි විය. එසේ පිරිනිවන් නොපාන ලෙස ඉල්ලීමක් නොවූ බැවින් බුදු රජාණන්වහන්සේ තව තෙමසකින් පිරිනිවන් පාන බව මාරයාට පවසා ආයු සංස්කාරය අත්හළ සේක. එම ආයු සංස්කාරය අත්හළ තැන කරවූ ථූපය තමන් දුටු බව හියුංසියෑං තෙරුන් සිය දේශාටන වාර්තාවේ සඳහන් කොට ඇත.

කේසරියා ස්තුපය
අතීතයේ මෙම ස්ථානයේ එනම් විශාලාවට සැතපුම් 30 ක් පමණ වයඹ දෙසින් වන්නට කාලාම තවුසන් ජීවත් වූ බවත් වාර්තා වෙයි. බුදුන්වහන්සේ පිරිනිවන් පෑමට කුසිනාරාම බලා වඩින විට ලිච්ඡවීන් ශෝකයෙන් පසුපස පැමිණි අතර, ඔවුන් වැළැක්වීම සඳහා උන්වහන්සේ ප්‍රාතිහාර්ය ගංගාවක් මැවීය. රළ පහරින් යුත් මහෝඝයක් ඇති ඒ ගඟෙන් එතෙර විය නොහැකි ලිච්ඡවීහු අතරමග නැවතුණහ. සිහිවටනයක් ලෙස ලිච්ඡවීන්ට පාත්‍රය පූජා වස්තුවක් වශයෙන් පිරිනැමු බවත් සඳහන්ය. එදා ලිච්ඡවීන් නැවතුන ස්ථානය ධර්මාශෝක රජු විසින් පසු කලෙකදි කේසරියා නමින් ස්තුපයක් කරවා තිබේ. එම ස්තූපය ජෙනරල් කනින්හැම් හඳුනාගෙන තිබේ.
උදේන චේතිය

උදේන නම් යක්ෂයෙකුගේ භවන වූ මෙය රුක්ඛ චේතිය ලෙස සැලකෙයි. බුදුරදුන් ජීවමාන සමයෙහි මෙහි විහාරයක් කරවා තිබුණි. භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩ සිටින්නට ඇති බව උදේන චේතිය රමණීයයිවශයෙන් ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වේ. උදේන චේතිය විශාලා මහනුවරට නැගෙනහිර දෙසින් වී යැයි අනුමාන කරනු ලැබේ.

ගෝතමක චේතිය

බුදුරජාණන් වහන්සේ කිහිපවරක් මෙහි වැඩම කර ඇති අතර, භික්ෂූන්ට තුන් සිවුරු පරිහරණය අනුදැන වදාළේ මෙහි දී ය. මෙය ද රුක්ඛ චේතියකි. ගෝතමක චේතිය සූත්‍රය දේශනා කරන ලද්දේද මෙහි දී වන අතර මෙය විශාලාවට දකුණු දෙසින් පිහිටා තිබුණු බව විශ්වාස කරයි.

අශෝක ස්ථම්භය

කාගේත් නෙත යොමුවන ස්ථානයක් තමයි මෙහි වූ අශෝක ස්ථම්භය. එය අශෝක ස්තම්භවලට වඩා වෙනස්. එනම් වෙනත් අශෝක ස්ථම්භවල සිංහයෝ හතර නිරූපනය වන අතර මෙහි සිටින්නේ එක් සිංහ රූපයකි. බුදුරජාණන් වහන්සේ මෙම ස්ථානයේ සිට පිරිනිවන් පෑම සඳහා කුසිනාරාවට වැඩම කර තිබේ. එසේ වඩින දෙස බලා සිංහයා දුකෙන් ඉන්නවා නිරුපණයට මෙලෙස එක සිංහරූපයක් සෑදු බව සඳහන් වෙයි. අශෝක අධිරාජ්‍ය විසින් නිර්මාණය කළ අශෝක කුළුණු හැම තැනම කඩාදාලා තිබුණත් මෙම කුලුන පමණක් තවමත් නිරුපද්‍රිත නැගි සිටිනවා.

සත්තම්බක චේතිය

මෙහි තිබූ අඹ ගස් නිසා මෙම නාමය යෙදී ඇති අතර විශාලා මහනුවරට බටහිරින් පිහිටනු ඇතැයි සැලකෙයි. මෙම සත්තම්බක චේතිය ද බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයකි.

බහුපුත්තක චේතිය

දේවතාධිගෘහිත නුගරුකක් තිබූ මෙය ද වෘක්ෂ චේතියකි. මෙහි ද බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක.

සාරන්දද චේතිය

මෙම භූමිය සාරන්දද නම් යකුගේ වාසස්ථානයක් වූ අතර, බුදුරජාණන් වහන්සේ උදෙසා ද මෙහි විහාරයක් කරවා තිබුණි. මෙය විශාලා නුවර ඇතුළත පිහිටා තිබෙන්නට ඇති බව පුරාවිද්‍යාඥයන් විසින් උපකල්පනය කොට තිබේ.

ශ්වේතපුරාරාමය

මෙය සමීපයේ සිව්බුදුවරුන් ම පරිභෝග කළ ස්ථාන හා අශෝක අධිරාජයා කරවූ ස්ථූපයන් ද පිහිටා තිබුණි. මෙම ආරාමය දෙවන ධර්ම සංඝායනාව පැවැත්වූ වාළුකාරාමයේ සිට මීටර් 90ක් පමණ දකුණු දෙසින් පිහිටි සංඝාරාමයකි.  වරක් මගධ දේශයට වඩින භාග්‍යවතුන් වහන්සේ උතුරු දිශාවට හැරී විශාලාවට වැඩම කළ සේක. එම අවස්ථාවේ විවේක ගත් ස්ථානය සිහිවීම පිණිස මෙහි ස්ථූපයක් කරවා තිබුණි.

ලිච්ඡවී රජුන් සර්වඥධාතු නිදන්කර සැදු ස්තූපය

සම්බුද්ධ පරණිර්වානයෙන් පසු සර්වඥ ධාතුන් වහන්සේ කුරුණියක් පමණ තැන්පත් කර මහා සෑයක් කරවා තිබේ. එහි නටබුන් අද ද දක්නට ඇති අතර සධාතුක කරඩුවක්ද එම ස්ථානයෙන් හමුවී ඇත. මෙම පූජනීය ස්ථානය වෛශාලි කෞතුකාගාරය අසල පිහිටා තිබේ.



Post a Comment

0 Comments